දක්ෂිණ අධිවේගයේ දී තලගොයෙක් වාහන තුනක් හප්පයි

දක්ෂිණ අධිවේගයේ දී තලගොයෙක් වාහන තුනක් හප්පයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 12 දශම 1 බණ්ඩාරගම, බද්දේගොඩ ප්‍රදේශයේදී කාන්තාවක පැදවූ මෝටර් රථයක පිටුපසින් ධාවනය වූ සුඛෝභෝගි මගී බස් රථයක් සහ තවත් කැබ් රථයක ගැටීමෙන් අනතු‍රක් සිදුව තිබෙනවා.

කාන්තාව පැදවූ මෝටර් රථය මාර්ගය හරහා ගමන් ගත් තලගොයෙකු බේරා ගැනීමට තිරිංග තද කිරීමත් සමඟම ඊට පිටුපසින් ධාවනය වූ සුඛෝභෝගී මගි බස් රථයක් එම මෝටර් රථයේ සහ තවත් කැබ් රථයක ගැටීමෙන් මෝටර් රථය පැදවූ මවක් සහ දරු තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසුවේ බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි අඹු සැමියුවලක් සහ කුඩා දරු තිදෙනායි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය එම දරුවන්ගේ මව පදවා ඇති අතර ඇය විසින් තලගොයා බේරීම සඳහා තිරිංග තද කිරීමත් සමගම ඊට පිටුපසින් ධාවනය වෙමින් තිබූ කැබ්රථයද තිරිංග තදකර ඇතැයි පොලිසිය පැවසුවා.

ඒ සමගම ගාල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනයෙන් තිබූ අධිසුඛෝභෝගී මගි බස් රථය ආවේගයෙන්ම ධාවනය කර මෝටර් රථයේ සහ කැබ් රථයේ ගැටීමත් සමඟම මෝටර් රථය ඇදී ගොස් ආරක්‍ෂිත වැටේ ගැටී තිබෙනවා.

එම අනතුරින් මෝටර් රථය පැදවූ කාන්තාව සහ ඇයගේ දරු තිදෙනා තුවාල ලැබූ අතර අනතුර සැලවූ වහාම පොලිස් විශේෂ කාර්ය බළකා ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ ගිනිවීමේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් කහතුඩුව, වෑතර දිසාරෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබුණා.

තුවාල ලද දරු තිදෙනා වයස අවුරුදු 11 ට අඩු වයසේ පසුවන්නන් බව පොලිසිය සදහන් කළා.

මෝටර් රථයේ සිටි කාන්තාවගේ සැමියාට කිසිදු තුවාලයක් සිදුවී නැහැ.

බස් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රියධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසුවා.

Share This