ශෂීන්ද්‍ර සැප්. 30 දක්වා රිමාන්ඩ්

ශෂීන්ද්‍ර සැප්. 30 දක්වා රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ අරගලයේදී හානියට පති වූ බව පවසමින් රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවට ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනායි.

Share This