
එක්ස්ප්‍රස් පර්ල් අධිකරණ තීන්දුවෙන් නියම කළ වන්දිය ගෙවීමට සමාගම බෑ කියයි
කොළඹ වරායට නුදුරෙන් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානිය සඳහා ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ඩොලර් කෝටි 100 ක වන්දි මුදල නොගෙවීමට එම සමාගම තීරණය කර ඇති පසුබිමක අදාළ නඩුව හෙට දිනයේ නැවත කැඳවීමට නියමිතයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ අදාළ සමාගම මෙරටට වන්දි ගෙවීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නයිට්‍රික් ඇසිඩ් ඇතුළු තවත් රසායනික විශාල තොගයක් සහිත බහාලුම් 1486 සමඟ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වූයේ පසුගිය 2021 වසරේ ජූනි මාසයේදීයි.
මෙම සිද්ධියට අදාළව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව භාර සමාගම ශ්‍රී ලංකාවට වන්දි ගෙවිය යුතුබව දක්වමින් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ ධීවර ප්‍රජාව ඇතුලු පාර්ශ්ව කිහිපයක් විසින්.
ඊට අදාළ නඩුව විභාග කර එවකට අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු ප්රමුඛ පංච පුද්ගල විනිසරු මඩුල්ලක් විසින් ඉකුත් ජූලි 24 වැනිදා නියෝග කරනු ලැබුවේ මෙරටට සිදුවූ හානිය පිළිබඳ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆ්‍රීඩර්ස් සමාගම මෙරටට අමෙරිකානු ඩොලර් කෝටි 100ක වන්දි ගෙවිය යුතු බවයි.
කෙසේ වෙතත් අදාල නැව් සාමගමේ විධායක අධ්යක්ෂ ෂ්මූවෙල් යොස්කොවිට්ස් ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තම සමාගමට පනවා ඇති වන්දිය ශ්‍රී ලංකාවට නොගෙවන බවයි.
එලෙස අදාළ වන්දිය ගෙවනු ලැබුව හොත් එය ජාත්‍යන්තර සමුද්‍ර කටයුතුවලට නරක පූර්වාදර්ශයක් විය හැකි බවයි ඔහු එහිදි අවධාරණය කර ඇත්තේ.
දැනටමත් ශ්‍රී ලංකා මුහුදේ සුන්බුන් ඉවත් කිරීම, මුහුදු පතුල වෙරළ තීරයන් පිරිසිදු කිරීම හා බලපෑමට ලක්වූ ධීවරයන් වන්දි ගෙවීම ආදී කටයුතුවලට එක්ප්‍රස් ෆ්රීඩර් සමාගම ඩොලර් මිලයන 170 ක මුදලක් වැය කර ඇති බවත් ඔහු දක්වා තිබෙනවා.
ඊට අමතරව තවත් මුදල් ගෙවීමට තම සමාගම සූදානමින් සිටින නමුත් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ වන්දිය නොගෙනවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
වසර 4 ක පමණ කාලයක් විදෙස් ගමන් තහනම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකිව සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් තමන් වන්දියක් ගෙවීමට යෝජනා කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යවසනය හේතුවෙන් ශ්‍රී ලංකවේ සමුද්‍ර පද්ධතියට, ජීවනෝපායන්ට හා වෙළරබඩ ප්‍රජාවන්ට සිදුවූ හානිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පනවා ඇති වන්දිය එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම විසින් ගෙවිය යුතුබවයි.
ජාත්‍යන්තර පරිසර නීතියට අනුව පරිසර දූෂකයා හැම විටම අදාළ හානි ප්‍රතිපූරණය කළ යුතු බවට වන මූලධර්මය පදනම් කරගෙන අදාළ වන්දිය ගෙවිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නෞකා සමාගම නිසි පරිදි වන්දි නොගෙවන්නේ නම් නීතිපතිවරයා හරහා අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසනවා.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් මෙරටට සිදුවූ හානිය වෙනුවෙන් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඩොලර් කෝටි 100 ක වන්දියේ පළමු වාරිකය ගෙවීමට නියමිතව තිබෙන්නේ අද දිනයේදීයි.
ඒ අනුව අදාළ එහි ප්‍රගතිය විමසීම සඳහා අදාළ නඩුව හෙට (25) දිනයේ නැවත කැඳවීටමි නියමිතව තිබෙනවා.
