
ශ්‍රී ලංකාවේ ආයෝජන සැකැස්ම දිගු කාලීන අවදානමක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් වන වත්මන් සැකැස්ම දිගු කාලීන අවදානම් ඇති කරනු ඇති බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් අනතුරු අගවා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කළ යුතු බවත් මීට පෙර තීරණය කළ පරිදි ඒ වෙනුවට නව නියාමන ආයතන පිහිටුවිය යුතු බවත් අමෙරිකාව පවසනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
2024 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත 5% ක වර්ධනය ඉක්මවා ගියද රටේ ආයෝජන වාතාවරණය අභියෝගාත්මක බවයි එහි දැක්වෙන්නේ.
විදේශ සෘජු ආයෝජන හෙවත් එෆ්. ඩී. අයි. සීමා වී ඇති අතර බොහෝ ගනුදෙනු අමෙරිකානු ඩොලර් මිලියන 3 සිට අමෙරිකානු ඩොලර් මිලියන 5 දක්වා මධ්‍යස්ථ පරාසයකයි පවතින්නේ.
මහා පරිමාණ ආයෝජනවල සැලකිය යුතු ඉහළ යාමකට පෙර ප්‍රතිපත්ති ස්ථාවරත්වය, නියාමන ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කළ විනිවිදභාවය අවශ්‍ය බව පලපුරුදු ආයෝජකයින් අවධාරණය කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
2024 වසරේ ජුලි මාසයේදී සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනතේ සඳහන් නව නියාමන ආයතන පිහිටුවමින් එම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කළ යුතු බවත් මීට පෙර තීරණයකළ පරිදි ඒ වෙනුවට නව නියාමන ආයතන පිහිටුවියයුතු බවයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පරිසරය පිළිබඳ බරපතල කනස්සල්ලක් මතු කර ඇති අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ආයෝජන සම්බන්ධයෙන් වන වත්මන් සැකැස්ම දිගු කාලීන අවදානම් ඇති කරන බවට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම ඇණහිටීම හේතුවෙන් ඵලදායී බලශක්ති සැපයුම් සංවර්ධනයට බාධා එල්ල වී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර ජිනීවා හිී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවක් ඡන්ද විමසීමකින් තොරව ඊයේ සම්මත කර ගැණුනා.
මේ අතර ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ බලහත්කාර ජාත්‍යන්තර ක්‍රියාමාර්ගවලට රටක් ලෙස ශ්‍රී ලංකාව එකඟ නොවන බවයි.