මාතලේ සිල්සමාදන් වූ කාන්තාවන් 3 කට ජීවිත අහිමි කළ රිය පැදවූ කාන්තාව අධිකරණයට

මාතලේ සිල්සමාදන් වූ කාන්තාවන් 3 කට ජීවිත අහිමි කළ රිය පැදවූ කාන්තාව අධිකරණයට

සිල් සමාදන් වීමට පැමිණි කාන්තාවන් තිදෙනෙකුට මරු කැඳවමින් ගම්පොළදී සිදුවූ රිය අනතුරට අදාළව මෝටර් රථය ධාවනය කළ කාන්තාව අද ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් එම කාන්තාව අනතුරින් පසුව සිදු වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් මේ වන විට ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වප් පුර පසළොස්වක පොහෝ දා එනම් ඊයේ දිනයේ ගම්පොළ දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයට සිල් සමාදන් වීමට පැමිණි කාන්තාවන් තිදෙනෙකු නොසිතූ ආකාරයේ රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

සිල් සමාදන් වීමට පැමිණි කාන්තාවන් සිව්දෙනෙකු විහාරස්ථානයෙන් පිටත ඇති වැසිකිළිය වෙත යමින් සිටි අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය මෙම කාන්තාවන් සිව්දෙනාගේ ගැටී තිබුණා.

අනතුරින් කාන්තාවන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් කාන්තාව තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සිදුකළ මෝටර් රථය එම අවස්ථාවේදී ධාවනය කර තිබුණේ කාන්තාවක් විසින්.

මෝටර් රථය පැදවූ කාන්තාව 38 හැවිරිදි වියේ පසුවන අතර ඇය රිය ධාවන පුහුණු බලපත්‍රයක් පමණක් සතුව මෝටර් රථය ධාවනය කර තිබුණා.

අනතුර සිදුවූ අවස්ථාවේ රිය ධාවනය කළ කාන්තාව තිරිංග වෙනුවට රථයේ ඇක්සලේටරය ක්‍රියාත්මක කර ඇති බවටයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

එම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇති වූ කම්පන තත්ත්වයක් මත ගම්පොළ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඇය අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Share This