කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට 

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් භාර දී තිබෙනවා.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500 ක මුදලක් පසුගිය මාස 9 ක කාලයේදී ලැබූ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5 ක ආදායම් ඉලක්ක වලට යාමට උත්සාහ කරන බවට එහිදී ප්‍රකාශ කළා.

BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති H.A. ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා රුපියල් මිලියන 50 ක් තම ආයතනයේ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමයි.

එලෙසින් ම මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර තිබෙනවා.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ මහතා රුපියල් මිලියන 100 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදුන්නා.

එහිදී විශේෂත්වය වන්නේ වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්ත්වයක ජාතික ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන ඒමට සමත් වීමයි.

ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවට මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළා.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා සහභාගි වූ අතර එතුමා ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100 ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළා.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල් මහතා මෙම අවස්ථාවට සහභාගි වූ අතර ඔහු රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී තිබුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14 කට පසුව වීමයි.

මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4 ක්.

මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ලබාදුන් මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතින බව එහි සභාපතිවරයා පැවසුවා.

 

Share This