ඉඟිනිමිටිය ජලාශය  ආශ්‍රිත සීමා සලකුණු කිරීමේ වැඩසටහන ඇරඹේ.

ඉඟිනිමිටිය ජලාශය ආශ්‍රිත සීමා සලකුණු කිරීමේ වැඩසටහන ඇරඹේ.

2025 අයවැය ප්‍රතිපාදනවලට අනුකූලව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවනු ලබන වැව් සීමා සලකුණු කිරීමේ තවත් වැඩසටහනක් අද (11) පෙරවරුවේදී ඉඟිනිමිටිය ජලාශය ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

වැව් රක්ෂිත මායිම් ලකුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉඟිනිමිටිය ජලාශයේ මායිම් සලකුණු කිරීම අද (11) ආරම්භ වූයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන්, ක්ලීන් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ අංජුල ප්‍රේමරත්න යන මහත්වරු සමඟ පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂතුමිය, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්තුමිය, ඉඟිනිමිටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් හා ගම්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම වැඩසටහන යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, සීමා සලකුණු යෙදීම සිදුකරන්නේ වැවක නිශ්චිත මායිම් හඳුනාගෙන, ඒවා අනවසර ඉඩම් අත්පත් කරගැනීම් හා නීති විරෝධී ඉදිකිරීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහායි.

ජල මූලාශ්‍ර දූෂණය වීම වැළැක්වීම සහ ශ්‍රී ලංකාවේ වාරි පද්ධතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.

දිවයින පුරා වැව් පද්ධති 23 ක් සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩසටහනක කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ද ක්‍රියාවට නැංවෙනවා.

Share This