විමල්, තංගල්ල දිසා අපරාධ මර්දන කොට්ඨාශයට අද එන්න බෑ කියයි

විමල්, තංගල්ල දිසා අපරාධ මර්දන කොට්ඨාශයට අද එන්න බෑ කියයි

අද දිනයේ යළිත් තමන්ට තංගල්ල දිසා අපරාධ මර්දන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා එම ඒකකයට දැනුම් දී තිබෙනවා.

දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබාගැනීමට තංගල්ල දිසා අපරාධ මර්දන ඒකකය විසින් කර තිබූ කැඳවීමට ප්‍රතිචාර ලෙසයි ඔහු මේ බව දන්වා තිබුණේ.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් ලොරි කිහිපයක තිබී හමුවී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 700කට වැඩි තොගය ගැඹුරු මුහුදේ සිට ගොඩබිමට ප්‍රවාහනය කළ බව කියන සිද්ධිිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වු බෝට්ටු හිමිකරු වන ‘පුවක්දණ්ඩාවේ සනා’ නැමැත්තා හා ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් ඇති බවට විමල් වීවංශ මහතා පසුගියදා ප්‍රකාශයක් කළා.

මේ පිළිබඳව විමසීමට තංගල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් කළ කැඳවීමකට අනුව පසුගිය 09 වැනිදා තංගල්ලට ගිය විමල් වීරවංශ මහතා අදාළ ප්‍රකාශය ලබා දුන්නා.

එම ප්‍රකාශයේ සඳහන් කරුණු උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් ද නිකුත් කළා.

එහි දැක්වුනේ, පුවක් දණ්ඩාවේ සනා නැමැත්තා තමා කිසි දිනක දැක නැති බවත්, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත් වීරවංශ මහතා තංගල්ල අපරාධ විමර්ශණ කාර්යංශය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි.

රාජ්‍ය අනුග්‍රහය මත මත්ද්‍රව්‍ය ගෙන එන බවත්, රාජ්‍ය අනුග්‍රහය මත වැටලීම් සිදුකරන බවත් තමා පැවසුවේ, පවතින පොදු තත්ත්වය මත බවත් ඔහු ප්‍රකාශකර ඇති බවත් එම නිවේදනයේ දැක්වුණා.

එමෙන්ම පසුගිය 02 දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් විමල් වීරවංශ මහතා තංගල්ල අපරාධ විමර්ශන කාර්යංශයට ඉදිරිපත් කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් විමල් වීරවංශ මහතා මෙම නිවේදනය දැඩි විවේචනයට ලක් කළා.

මේ අතරතුර විමල් වීරවංශ මහතාගෙන් අද දිනයේ තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව ඊයේ ඒ මහතාට තංගල්ල දිසා අපරාධ කොට්ඨාශයෙන් දැනුම් දී තිබෙනවා.

ඊයේ සවස 4 ට පමණ එම දැනුම් දීම තමන්ට ලැබුණු බව පැවසූ විමල් වීරවංශ මහතා අද දිනයේ තංගල්ලට පැමිණිීමට නොහැකි නිසා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා.

Share This