මිහින්තලා පුදබිමේ මාර්ග බාධක කඩා ඉවත් කළේ ඇයි?

මිහින්තලා පුදබිමේ මාර්ග බාධක කඩා ඉවත් කළේ ඇයි?

මිහින්තලා පුද බිමේ ස්ථාපිත කළ මාර්ග බාධක කිසිදු නීතිමය අවසරයකින් තොරව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අවැසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණට දැනුම් දී තිබෙනවා.

මේ බව පොලිස් අධිකාරි ශානි අබේසේකර විසින් ලිඛිතව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපියෙන් මිහින්තල රාජමහ විහාරස්ථානයේ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව මෙන් ම පියගැට පෙළෙහි සුන්දරත්වයට හා පුරා විද්‍යා නටබුන්වලට සිදුවන හානි වළක්වා ගැනීමේ අරමුණින් මිහින්තලා පුදබිමේ අබකොටුව ආශ්‍රිත ප්‍රදේශයෙහි ස්ථාන තුනක ආරක්ෂක කමිටු තීරණයකට අනුව ස්ථාපිත කළ මාර්ග බාධක තුන කිසිදු නීතිමය අවසරයකින් තොරව මිහින්තලා පුරා විද්‍යා කලාප කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකු විසින් සහ මිහින්තලා ප්‍රදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයෙකු විසින් කඩා ඉවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉක්මණින් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇතැයි වැඩි දුරටත් වාර්තා වනවා.

Share This