රේගුවේ රඳවාගෙන සිටින වාහන තොගයක් මුදාහැරීම ගැන පෙත්සම් විභාගය 16 ට කල් යයි

රේගුවේ රඳවාගෙන සිටින වාහන තොගයක් මුදාහැරීම ගැන පෙත්සම් විභාගය 16 ට කල් යයි

මෙරටදී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් පිටත වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සමථයට පත් කිරීමට තිබෙන හැකියාව තව දුරටත් සොයා බැලීම සඳහා අදාල පෙත්සම් මේ මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, සිය වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 15 ක් පමණ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකර සමථයකට පත් කිරීමට අදාල සාකච්ඡා කිහිපයක් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා රේගුව සමග පවත්වා ඇති බවයි.

ඒ අනුව මෙම සමථයට පත් කළ හැකි ආකාරය පිළිබඳව කරුණු දැක්වීම සදහා දිනයක් ලබා දෙන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩු සමථයකට පත් කිරීමට උපකාරී වන යෝජනා කිහිපයක් තම සේවාදායකයින් විසින් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මෙම නඩුකර සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම් යළි මේ මස 16 වැනිදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම් සමථයට පත් කිරීමට ඇති හැකියාව අධිකරණයට දැනුම් ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කළා.

මෙම පෙත්සම් ඉකුත්දා කැදවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ පෞද්ගලික ඇපකරයක් මත මුදා හැරීමට තිබෙන හැකියාව සොයා බලන බවයි.

Share This