ජලතර ගුවන් තොටුපලක් ලෙස සහතික කිරිමට කාසල්රි ජලාශයට විශේෂ පර්යේෂණ ගුවන් ගමනක්

ජලතර ගුවන් තොටුපලක් ලෙස සහතික කිරිමට කාසල්රි ජලාශයට විශේෂ පර්යේෂණ ගුවන් ගමනක්

කාසල්රී ජලාශය (Castlereigh Reservoir) ජලතර ගුවන්තොටුපලක් (Water Aerodrome) බවට සහතික කිරීම සඳහාවන පරික්ෂණයක් අද (18) ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සිවිල් ගුවන්සේවා පරික්ෂක්වරුන් විසින් ක්‍රියාමත්මක කළා.

එය සනිටුහන් කරමින් සිනමන් ගුවන් සමාගම විසින් පර්යේෂණ ගුවන් ගමනක් (Test Flight) ක්‍රියාමත්මක කළ අතර, ඒ සඳහා එම ගුවන් සමාගම යොදාගෙන තිබුණේ සෙස්නා 208 (Cessna 208) මාදිළියේ ගුවන් යානාවක්.

ආරක්ෂක හේතූන් මත මෙතෙක් දිවයිනේ බොහෝ ජලාශ වෙත දේශීය ගුවන් ගමන් ක්‍රියාමත්මක කිරීම වෙනුවෙන් පැවති බාධා ඉවත් කරමින් නව රජයේ ගුවන් සේවා සහ සංචාරක කර්මාන්ත සංවර්ධනය කිරිමේ වැඩපිලිවෙළ යටතේ ක්‍රියාමත්මක සැලසුමෙහි එක් අදියරක් ලෙස කාසල්රී ජලාශයේ (Castlereigh Reservoir) පිහිටි ජලතර ගුවන් තොටුපොළ සහතික කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාමත්මක වනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සංචාරකයන් හට කෙටි වේලාවකින් සහ ඉතා පහසුවෙන් මධ්‍යම කදුකරය සහ ඒ ආශ්‍රිත සංචාරක ගමනාන්ත වෙත කඩිනමින් ගමන් කිරිමට මෙම නව ගුවන් ගමන් සහායක් සපයනු ඇති.

එමෙන්ම මෙයට අමතරව පසුගිය දා කොළඹ බේරේවැව පිහිටි ජලතර ගුවන් තොටුපල වෙත යලි ගුවන් ගමන් ආරම්භ වීම සනිටුහන් කළ අතර, කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාමත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරික්ෂා කිරිම් සිදු කරමින් පවතින බවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එම ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ කොළඹ නගරය සඳහා නව හෙලිකෝපටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සදහාද කටයුතු කරමින් පවතින බවයි.

මේ වන විට ජලතර ගුවන්තොටුපල 22 ක් නිසි පරික්ෂා කිරිමෙන් පසුව මෙහෙයුම් සදහා අනුමත කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.

වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මග පෙන්වීම මත සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් දමින්ද රුඹුක්වැල්ල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙන අභ්‍යන්තර ගුවන් සේවා සංවර්ධනය කිරිමේ වැඩපිලිවෙළක් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.

ජල පෘෂ්ඨ මත සහ ගොඩබිම ගුවන් මෙහෙයුම් සිදු කල හැකි ගුවන් යානා (Amphibian Aircraft) මාදිලි සිනමන් ගුවන් සමාගම සතු වන අතර, එම සමාගම පවසන්නේ ඉදිරියේදි එම සංචාරක ව්‍යාපාරයට අත්වැළත් සපයමින් සිය ගමනාන්ත වර්ධනය කිරිමටද, අපේක්ෂා කරන බවයි.

මේ වන විට හැටන් (කාසල්රී ජලාශය) ද ඇතුළුව කොග්ගල, දික්වැල්ල, වික්ටෝරියා, ග්‍රෙගරි සහ දියවන්නා යන ජලතර ගුවන් තොටුපළ වෙතද මඩකලපුව, සීගිරිය, වීරවිල සහ ත්‍රීකුණාමලය යන දේශීය ගුවන් තොටුපල ඇතුලු දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් ක්‍රියාමත්මක කරමින් සිටින අතර, සංචාරක කර්මාන්තයට අත්වැළක් සපයමින් එය තවදුරටත් ප්‍රවර්ධනය කිරිම එම ගුවන් සමාගමේ අපේක්ෂාව වී තිබෙනවා.

සිනමන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ජලතර ගුවන් ගමන් (Sea Plane Operations) දැනට ක්‍රියාමත්මක කරන එකම ගුවන් සමාගම ලෙසින් ද කටයුතු කරමින් සිටී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රුඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගණ) රංගන සමන්ප්‍රිය මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂිකා (මානව සම්පත් සහ දේපළ කළමණාකරණ) දිලානි කරුණාරත්න මහත්මිය ඇතුලු පිරිසක් අද කාසල්රි පරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.

 

Share This