සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්

සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝප‍රේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සමග 2024 ජූලි 01 දින අත්සන් කරන ලද ගිවිසුම සංශෝධනය මගින් පාසල් සිසුන් වෙත ලබා දෙන ප්‍රතිලාභවල වැඩිවීමක් සිදු කර ඇති අතර එම නව සංශෝධිත ප්‍රතිලාභ මෙසේයි.

සෞඛ්‍ය රක්ෂණාවරණ

නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ – රු.300,000 /- (රජයේ / පෞද්ගලික රෝහල්)
බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ – රු.20,000/-
අසාධ්‍ය රෝග ප්‍රතිලාභ – රු. 1,500,000/- සිට

අනතුරු රක්ෂණාවරණ

පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා – රු.200,000/-

සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා -රු. 150,000/-

තාවකාලික අකර්මණ්‍යතා සඳහා- රු.25,000 /- සිට රු.100,000/- දක්වා
ජීවිත රක්ෂණාවරණය

වාර්ෂික ආදායම රු. 180,000/- කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ”අස්වැසුම” වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය/නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/- බැගින් හිමි වනු ඇති.

එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/- වන අතර පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරනු ලබනවා.

මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වනු ඇති.

මෙම වැඩසටහන 2025/2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමේ දී පෙර පැවති ප්‍රතිලාභවලට අමතරව නව සංශෝධන ඇතුළත් කරමින් 2025 ඔක්තෝබර් 09 දින ගිවිසුම සංශෝධනය කිරීමේ හේතුවෙන් නව ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින්නේ 2025 සැප්තැම්බර් 01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා පමණක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සිදු වූ එම සංශෝධන පහත පරිදියි.

I. 2024/2025 වර්ෂයේ දී දෙමාපිය මරණයක දී හිමි වන ප්‍රතිලාභය ලබා දීම සඳහා සලකා බලනු ලැබූ වාර්ෂික ආදායම රු.180,000/- ක් වුව ද, 2025 සැප්තැම්බර් 01 දිනෙන් පසු එම ප්‍රතිලාභය ලබා දීමට සලකා බලනු ලබන වාර්ෂික ආදායම රු.240,000/- කට වඩා අඩු ආදායමක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

II. මෙම වැඩසටහන යටතේ විවිධ වූ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන් මින්පෙර ආවරණය වී නොතිබූ අතර එබැවින් 2025 සැප්තැම්බර් 01 දිනෙන් පසු අසාධ්‍ය රෝග කාණ්ඩයට අයත් රෝග සහ පහත සඳහන් රෝග සඳහා දීර්ඝ කාලීනව ඖෂධ ලබාගන්නා සිසුන්හට බාහිර ප්‍රතිලාභ ලෙස රු 20,000/- යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

අපස්මාරය (Epilepsy)
නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය (Nephrotic syndrome)
රූමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis)
පද්ධතිමය ලුපුස් එරිටෙටෝමෝසස් (Systemic lupus erythematosis)
නිදන්ගත ගිනි අවුලුවන බඩවැල් රෝග( Ulcreative colitis)
ක්‍රෝන් රෝගය (Crohn discase)
රූමැටික කපාට හෘද රෝග (Rheumatic valvular heart disease)

III. කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කිරීම සඳහා පළඳින උපාංගය (Scoliosis Brace) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

IV. කර්ණ ශංඛ උපකරණ සඳහා වන වියදම (උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයකු විසින් නිර්දේශිත) සඳහා රු.75,000.00 දක්වා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම.

V. හදිසි අනතුරක දී පමණක් ලබා දුන් ‘Lumber Guards and cervical collars’ උපාංග සඳහා හදිසි අනතුරක් නොවන අසනීප අවස්ථාවක දී ද ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසීම (විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශිත).

ප්‍රතිලාභ ලබා ගැනීමේ දී හිමිකම් පත්‍රය ඇතුළු අදාළ අනෙකුත් සියලු ම ලිපි ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක් වෙත භාර දිය යුතු වනවා.

මූලාශ්‍රය – අධ්‍යාපන අමාත්‍යංශය

Share This