
ඉෂාරා සෙව්වන්දි වමාරා තවත් පිරිසක් අත්අඩංගුවට – පාතාල හඬ පටයකුත් ලීක් (VIDEO)
රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු යාපනයට ගොස් බෝට්ටුවක ආධාරයෙන් රටින් පළායාමට ආධාර අනුබල දුන් යාපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශයවල පදිංචි තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පෙරේදා කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යාපනය ප්‍රදේශයට රැගෙන ගිය අතර එහිදී ලබාදුන් තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා.
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සහ ඇය සමඟ සිටියදී අත්අඩංගුවට ගත් යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇතුළු සැකකරුවන් තිදෙනා පෙරේදා යාපනය ප්‍රදේශයට රැගෙන ගියා.
ඒ අදාළ සැකකරියට බෝට්ටු ආධාරයෙන් රටින් පළායාමට ආධාර අනුබල දුන් සහ රැඳී සිටීමට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහායි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හි පදිංචි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඉෂාරා සෙව්වන්දි ඇතුළු යාපනයට රැගෙන ගිය සැකකරුවන්ද ඊයේ රාත්‍රියේ යළි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබෙනවා.
මේ අතර ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි නමැත්තියට පොලිසිය සහ අධිකරණය මඟහැර සැඟව සිටීමට සහ අදාළ ඝාතනයට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර සාජාහි අත්අඩංගුවට ගෙන ඇති තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන ලලිත් කන්නංගර නොහොත් බස් ලලියා නමැත්තාද මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කෙටුම්පත් සකසමින් පසුවන බව පොලිසිය සඳහන් කළා.
ඉකුත්දා ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා.
මේ අතර තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන කොණ්ඩ රංජි නොහොත් කුංකුම සුද්දා නමැත්තා සහ රත්මලානේ රසල් හෙවත් රෙකෝඩින් රසල් නමැත්තා අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා අතර සිදුවන දුරකථන සංවාදයකට අදාළ හඬ පටයක්ද අප වෙත ලැබී තිබෙනවා.