පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවට රජය සූදානම් (VIDEO)

පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවට රජය සූදානම් (VIDEO)

පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡාවක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලබන වසරේ අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දය පවත්වන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද පවසා තිබෙන පසුබිමකයි.

රට පුරා පළාත් සභා 9 ම දැනට අක්‍රීයව පවතින්නේ මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් හේතුවෙන් ඡන්දය පැවැත්වීම දිගින් දිගටම කල්ගොස් ඇති පසුබිමකයි.

1987 පළාත් සභා ක්‍රමය ආරම්භ කළ අවස්ථාවේ සිටම ඒ සඳහා ඡන්දය පැවැත්වුණේ සමානුපාතික නියෝජන ක්‍රමයටයි.

එහෙත් එම ක්‍රමයේ අඩුපාඩු පවතින බවට විවිධ පාර්ශ්ව පෙන්වාදීම හේතු කරගෙන ඡන්දය සඳහා පළාත් පාලන ආයතන සඳහා මෙන් පළාත් සභා සඳහාද සමානුපාතික සහ කේවල කොට්ඨාස ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට මූලික පියවර ගැණුනා.

මේ පසුබිම මත පැරණි ක්‍රමයට ඡන්ද පැවැත්වීමේ හැකියාව ගිලිහී ගියා.

ඒ අනුව ඡන්දය පවත්වන්නේ කවර ක්‍රමයට ද යන්න පිළිබඳ නිශ්චිත කරගැනීමකින් තොරව මැතිවරණ කොමිසමට පළාත් සභා ඡන්දය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වී ඇති නිසා දීර්ඝ කාලයක සිට දැනට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ලේකම්වරුන්ගේ පාලනය යටතේයි.

කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පළාත් සභා මැතිවරණය ද පවත්වන බව ප්‍රකාශ කළා.

ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක්ම අවධාරණය කළේ එය ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා පනත සංශෝධනය කර පැරණි ක්‍රමයට නැවත ඡන්දය පවත්වනවාද එසේත් නැත්නම් කොට්ඨාස ක්‍රමය යටතේ සීමානීර්ණ ක්‍රියාවලියෙන් පසුව ඡන්දය පවත්වනවාද යන සංවාදය දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ වනවිට මතුව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුව අවසන් තීරණය ගත් වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් බවයි.

මේ අතර, එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසු අපේක්‍ෂකයන් තේරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව දේශපාලන පක්‍ෂ ගණනාවක ලේකම්වරුන්ද ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව Live@Sri Lanka වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වෙත ප්‍රකාශය කළා.

Share This