ජලාශ රැසක වාන් දොරටු විවෘතයි – සැලකිලිමත් වන්නැයි අනතුරු ඇඟවීම්

ජලාශ රැසක වාන් දොරටු විවෘතයි – සැලකිලිමත් වන්නැයි අනතුරු ඇඟවීම්

අංගමුව ජලාශයේද වාන් දොරටු ඊයෙ වනවිට වසා දමා තිබුණද අධික වර්ෂාව හේතුවෙන් මේ වෙන විට වාන් දොරටු දෙකක් නැවත විවෘත කොට තත්පරයට ඝණ අඩි 2168 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හරිමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.

එමෙන්ම වාරි ඉංජිනේරුවන් පවසන්නේ කලාවැවේ වාන් දොරටු දෙක තවමත් අඩිය බැගින් විවෘතකර තැබීමෙන් කලාවැවෙන් කලා ඔයට තත්පරයට ඝණ අඩි 1,241 ජල ධාරිතාවක් මුදාහරින බවයි.

ඒ අනුව, කලා ඔයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවුකන සිට කැකිරාව මාර්ගය අවුකන විහාරස්ථානයට නුදුරින් දින කිහිපයක් තිස්සේ තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා.

එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලි මීටර් 50 කට ආසන්න වර්ෂාපතනයක් ඊයේත් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති අතර කළු ගඟේ ජල මට්ටම රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර කරනවා.

එමෙන්ම මේ වනවිට පවතින වැසි තත්ත්වය හමුවේ රත්නපුර නගරය අවට පහත්බිම් ජලයෙන් යටව තිබෙනවා.

මේ අතර කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වැල්ලවාය සහ අලිකොට ආර ජලාශයේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා.

එම නිසා අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තත්වය නිසා වේවැල් කදුර, වැල්ලවාය මාර්ගයේ අලිකොට ආර හරහා ඇති සපත්තු පාලම ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම ඊයේ රාත්‍රීයේ පටන් හොරණ ප්‍රදේශයට ඇද හැරෙන අධික වර්ෂාපතනයත් සමඟ වර්ෂා ජලයෙන් ප්‍රදේශයේ පහත්බිම් යටවී තිබෙනවා.

Share This