
‘රටම එකට’ ජාතියක් බේරාගන්න ජාතික වැඩසටහනක් – ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ
“මේක ජාතියක් බේරාගන්න ජාතික වැඩසටහනක්. රටේ දරු පරපුර ආරක්ෂා කර ගන්න කරන යහපත් වැඩසටහනක් බව රජය අද (30 දා) සිට ක්‍රියාත්මක කරනු ලබන විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර තිබෙනවා.
අපේ රට සෑම දිනයකම බණ කියන, බණ අහන රටක්. බුදුන් වහන්සේ තෙවරක් පා තැබූ පුණ්‍ය භූමියක්. ඒ වගේ රටක් මත් රකුසා වෙළාගෙන තියෙනවා කියන්නේ හරිම කනගාටුවක්. එවැනි වැදගත් රටේ හැම දවසේම ආරංචි වෙන්නේ පවුල් ආරවුල්, අඬදබර සහ මිනිමැරුම්. මෙවැනි ශෝචනීය සිදුවීම් දිනපතා සිදුවෙන්නේ මත්ද්‍රව්‍ය නිසාම තමයි. හොර මැරකම්, මංකොල්ලකෑම් මිනීමැරුම්, පවුල් ආරවුල් මත්ද්‍රව්‍ය නිසා උග්‍ර වෙලා.
මේ පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ මෙසේ පවසනවා.
“මගේ වරිගයේ ඇත්තන් ජීවත් වෙන ගම්මාන 62 ක් රටපුරා තියෙනවා. මේ ගම්මාන 62 න්ම හැමදාම පැමිණිලි ලැබෙනවා.
මත්ද්‍රව්‍ය පානය කරලා පවුල්වල අඬදබර පවුල් ආරවුල් ඇති කරගෙන විශාල පිරිසක් ලොකු ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්නවා කියලා. රැහේ නායකයා විදියට ඔය හැම ගැටලුවකටම විසඳුම් දීමේ හැකියාවක් මට නෑ. මට පුළුවන් ඒ පළාතේ තියෙන ප්‍රධාන පොලිසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කරලා, ඒ පිළිබඳව සොයා බලන්න, මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න කියන්න විතරයි. හැබැයි පොලිසියේ නිලධාරින් ගමට යනකොට ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ හැංගිලත් ඉවරයි. කොහොම ඒ අයට ඒ පණිවිඩය යනවා ද මම නම් දන්නේ නෑ.”
මේ ආණ්ඩුවටත්, ජනාධිපතිතුමන්ටත්, ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයන්ටත්, මේ රටේ ජනතාවටත් මම කියනවා මේ වැඩසටහන හරිම වැදගත්. මේ ඔබේ දුවා දරුවා මත් රකුසාගෙන් බේරා ගන්නා වැඩසටහනක්. සියලු දෙනාම එකතුවෙලා මත් උවදුර මේ රටෙන් තුරන් කර ගැනීම සඳහා මේ වැඩසටහනට උදව් කළ යුතුයි. මෙවැනි වැඩසටහනක් ආරම්භ කර ජාතිය බේරා ගැනීමට කටයුතු කිරීම ගැන ආණ්ඩුවට ස්තුති වන්ත වන බවත් ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පවසනවා.
