බේරුවල සමූපකාර අධ්‍යක්ෂමණ්ඩලයෙන් විසිවුණු ජා.ජ.බ. අයෙක් යකා නටයි (VIDEO)
බේරුවල සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් බේරුවල සමූපකාර සමිතිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දෙපාර්ශ්වයම අද බේරුවල පොලිසියට කැඳවා තිබෙනවා.
බේරුවල පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ බීමතින් කලහකාරී ලෙස හැසිරුණු බවට අදාළ පැමිණිල්ල ලැබී තිබූ බවයි.
බේරුවල සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමක් මුල්කරගනිමින් ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රියාල් නිලන්ත නමැත්තා පසුගියදා බේරුවල සමූපකාර සමිති ගොඩනැගිල්ලට පැමිණ කළහකාරී ලෙස හැසිරුණා.
සිද්ධියට අදාළ ප්‍රියාල් නිලන්ත මහතා පවසන්නේ අදාළ සමූපකාර සමිතියේ ඇතැම් නිලධාරීන් අක්‍රමිකතා ගනුදෙනුවල නිරතවී ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ සිද්ධියෙන් පසු ඒ පිළිබඳ එහි සිටි නිලධාරීන් විසින් බේරුවල පොලිසියට පැමිණිල්ලක් යොමුකර තිබුණා.
ඒ අනුව එය විභාග කිරීමට දෙපාර්ශ්වයම අද බේරුවල පොලිසියට කැඳවා තිබෙනවා.
පසුගියදා බේරුවල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තෝරා ගැණුනු අතර, එහිදී පොදු විපක්‍ෂයෙන් සාමාජිකයන් සිව්දෙනෙකු තේරී පත්වූ අතර, ජාතික ජන බලවේගයෙන් සාමාජිකයන් තිදෙදෙනකු තේරී පත්වුණා.
බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා පසුගියදා ලිපියක් යොමුකරමින් දන්වා තිබුණේ ජාතික ජන බලවේගයෙන් එම අධ්‍යක්‍ෂ මණ්ඩලයට තේරී පත්වූ සාමාජියෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැවින් එම ධුරය අහෝසි වන බවයි.
එලෙස ඉවත්කර තිබුණේ පසුගියදා කළහකාරී ලෙස හැසිරුණු මෙම පුද්ගලයායි.
