
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) පෝල් රිචඩ් ගැල්ගර් හිමිපාණන් පසුගිය දා (3) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසුණා.
අග්‍රාමාත්‍ය කාර්‍යාලය පැවසුවේ මෙහිදී අධ්‍යාපනය, සංහිඳියාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවධානය යොමු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගරදගුරු ගැල්ගර් හිමිපාණන් දැනුවත් කළ බවයි.
එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අගරදගුරු හිමිපාණන් “අධ්‍යාපනය යනු සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජා සංවර්ධනය සඳහා වන නව නාමයක්” බව සඳහන් කරමින් ලෝක අධ්‍යාපනය සඳහා වන ජුබිලිය වැනි ශුද්ධාසනයේ ගෝලීය මුලපිරීම ඉස්මතු කර තිබෙනවා.
රජය ගෙන යන වැඩපිළිවෙල පැසසුමට ලක් කළ අගරදගුරු ගැල්ගර් හිමිපාණන් ජාත්‍යන්තර විශ්වාසය පවත්වා ගැනීම සඳහා අධිකරණ පද්ධතිය, විශ්වාසය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අවසන් වශයෙන් අගරදගුරු හිමිපාණන් විසින් ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා නිල සංචාරක් පිණිස යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.
එම යෝජනාව පිළිගනිමින් ඒ සඳහා විධිමත් ලෙස ආරාධනා කිරීමට කටයුතු සලසන බවට අග්‍රාමාත්‍යවරිය දැනුම් දී තිබෙනවා.
අගරදගුරු ගැලගර් හිමිපාණන් විසින් ශුද්ධාසනය නැරඹීමට අග්‍රාමාත්‍යවරියට කළ ආරාධනය ද ඇය විසින් මෙහිදී පිළිගෙන තිබෙනවා.
වතිකානු දූත පිරිසට කොළඹ ශුද්ධාසනයේ තානාපති කාර්යාලයේ භාරකාර ගරු Monsignor Roberto Lucchini හිමිපාණන් සහ ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් කාර්යාලයේ උප ලේකම් ගරු Monsignor Tomislav Zubac හිමිපාණන් ඇතුළත් ව සිටියා.


