2025 මුල් මාස හයේ වැඩිම පාඩුව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන්

2025 මුල් මාස හයේ වැඩිම පාඩුව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන්

රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු ව්‍යවසායකත්ව පදනමෙන් ක්‍රියාත්මක රාජ්‍ය ආයතන 52ක් රට තුළ පවතිනවා.

ඒවායේ ලාභ අලාභ තත්ත්වයන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව එම ආයතන 52 අතරින් 18ක් පවතින්නේ පාඩු ලබන තත්ත්වයකයි.

එම වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යවසාය 52 ඉකුත් වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 280.7ක සමස්ත ලාභයක් උපයා තිබුණත් මේ වසරේ මුල් මාස 06 තුළ උපයා තිබෙන්නේ රුපියල් බිලියන 227.8ක් පමණයි.

ඒ අනුව ඉකුත් වසරේ අදාල කාලයට සාපේක්‍ෂව මේ වසරේ සමස්ත රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ලබා ඇති පාඩුව රුපියල් බිලියන 52.9ක්.

රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම පාඩු ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

එය මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා පමණක් වාර්තාකර ඇති අලාභය රුපියල් මිලියන 12,041ක්.

කෙසේ වෙතත් 2025 – 26 මූල්‍ය වර්ෂයට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මගී ආදායම රුපියල් බිලියන 51.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This