
2026 වසරේ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරු 1.30 ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් මස 05 දා දක්වා පැවැත්වීමට නියමිතයි.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන පස්වරු වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17 ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 05 වන දින පස්වරු 6 ට සිදුකෙරෙනු ඇති.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක්.
එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634 ක්.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618 ක් වෙන් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 596 ක්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455 ක් වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301 ක් වෙන්කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11ක්.
එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8 ක පමණ වැඩිවීමක් වනවා.
මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතුව ලෙස දැල්වෙන්නේ ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29 ක මුදලක් වෙන්කර තිබීමයි.
එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488 ක් වෙන්කර තිබෙනවා.
කෙසේ වෙතත් 2026 වර්ෂය සඳහා වියදම් පියවාගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්ම විය යුතු බව ද විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්.
