
පිටකොටුවෙ කළ පරීක්ෂා කිරීම් වලදි මත්ද්‍රව්‍ය වර්ග හය, හතක් භාවිතා කරලා බස් ධාවනයේ යෙදුණු අය අහුවුණා – සහකාර පොලිස් අධිකාරී සමන් ජයලත්
මගී ප්‍රවාහන බස් රථ පැදවීමට මත්ද්‍රව්‍ය භාවිතා කළ යුතු බවට පවතින මතය දුර්මතයක් බවත්, එසේ පුරුදු වී සිටින රියැදුරු – කොන්දොස්තරවරුන් ඇත්නම් වහාම මෙම කර්මාන්තයෙන් ඉවත්වන ලෙසත් හෝමාගම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී සමන් ජයලත් මහතා පවසනවා.
රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව කොට්ටාව බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ සේවකයින් හා හිමිකරුවන් දැනුවත් කිරීම සදහා කොට්ටාව ධර්මපාල විද්‍යාලීය ශ්‍රවණාගාරයේ ඊයේ (09) සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා මේ අදහස් පළ කළා.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා කොට්ටාව පොලිසිය එක්වයි.
එහිදී තවදුරටත් සහකාර පොලිස් අධිකාරීවරයා ,
” බස් රථ සේවකයින් මත්ද්‍රව්‍ය පානය කරලා බස් ධාවනය කරනවා කියලා අපිට වාර්තා වෙලා තිබුණා. ඒ අනුව පසුගිය දවසකදි පිටකොටුව නියාමන වැඩසටහනක් කළා.එහිදී මත්ද්‍රව්‍ය වර්ග හය හතක් භාවිතා කරලා බස් ධාවනයේ යෙදුණු අය අහුවුණා. අයිස්, හෙරොයින්, ගන්ජා පානය කලහම බස් දුවන්න ලේසියි කියලා සමහරු හිතන් ඉන්නවා.ඒක වැරදියි කරුණාකරලා නවත්තන්න ඒ වැඩේ. නැතිවුණොත් නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. සමහරු බස් වල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න පුරුදු වෙලා. අල්ලනකොට හිමිකරු මඟ අරිනවා. ඒ නිසා ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරගන්න.”
“අනික බස්රේස් නවත්තන්න. සෙනඟ පටවගෙන කොට කොට යන එකක නවත්තන්න.අධික ශබ්ද නඟන හෝන් භාවිතා කරන්න එපා. බලපත්‍ර ළඟ තබාගෙන මගීන් ප්‍රවාහය කරන්න. එසේ නැතිවුනොත් නීතිය ක්‍රියාත්මක කරනවා.”
