හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ගේ දූෂණ චෝදනා මූලික විරෝධතා මහාධිකරණය ඉවත දමයි

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ගේ දූෂණ චෝදනා මූලික විරෝධතා මහාධිකරණය ඉවත දමයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද (10) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ එම නඩුව කැඳවු අවස්ථාවේ දීයි.

මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍ර පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත්, ඒ අනුව එම චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජේ රාජරත්නම් සහ අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකර තිබුණා.

විත්තිය විසින් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා පිළිබඳව තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් මස 16 වැනිදා කැදවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා මව්බිම, සිලෝන් today, ලංකාදීප, රිවිර ඇතුළු පුවත්පත්වල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් 11 ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 05 ක් ගොනුකර ඇති අතර සාක්ෂිකරුවන් ලෙස නම්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 15 ක්.

Share This