
කෙහෙලියගේ පුතාට රුපියල් කෝටි 27 ක අයථා වත්කම් උපයා ගැනීමේ නඩුවේ අධි චෝදනා භාර දෙයි
අයථා ලෙස රුපියල් කෝටි 27 වත්කම් උපයාගත් ආකාරය හෙලි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.
මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් ව්ත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදු කෙරුණේ එහිදීයි.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළා.
විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියා.
2022 වසරේ ජනවාරි මස 01 වැනිදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වැනිදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඉන් රුපියල් 275,302,616.06 ක වටිනාකමකින් යුත් මුදල් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ නඩුව ගොනු කර තිබෙනවා.
