ජනපති අනුරගේ ඉල්මහ කතාවේ කෑල්ලක් අරන් “තනි පක්ෂ පාලනයක්” ගැන එ.ජා.ප. යෙන් නිවේදනයක්

ජනපති අනුරගේ ඉල්මහ කතාවේ කෑල්ලක් අරන් “තනි පක්ෂ පාලනයක්” ගැන එ.ජා.ප. යෙන් නිවේදනයක්

“අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳවද? දැයි එකසත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම පක්ෂ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය “36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබූ බවයි.

එය හිතාමතාම කරන ලද්දක් යැයි එක්ක යැයි එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් ආරක්ෂා කරන බවට බව එකසත් ජාතික පක්ෂය පවසනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුව බවයි.

ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරණයක්ද ඇතුළත් කරනු ලැබූ බව එහි දැක් වෙනවා.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩොමීනියන් රාජ්‍යයක් ලෙස බව අදාල නිවේදනයෙන් පවසනවා.

එනම් එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජතුමා ලංකාවේ 6 වැනි ජෝර්ජ් රජු හැටියට පාර්ලිමේන්තු නීතියක් මගින් පත්කර ගනු ලැබීමෙන් බවත් ඔහුගේ අභාවයෙන් පසුව 1953 රාජකීය තනතුරු පනත (රෝයල් ටයිට්ල්ස් ඇක්ට්) හී දෙවැනි වගන්තිය යටතේ දෙවැනි එලිසබෙත් රැජිණිය එකී තනතුරට පත් කර ගත් බවත් සිය නිවේදනයෙන් සිහිපත් කරනවා.

එදා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් 1972 දී ජනරජය පිහිටුවා ගත් බවත් අදාල නිවේදනයේ සඳහන්.

ජනරජ ව්‍යවස්ථාවේ පෙරවදනෙහි එය ජනතා පරමාධිපත්‍යයෙන් ඇතිවූවක් ලෙස පැහැදිලිවම සඳහන් කර ඇතැයි එ.ජා.ප. නිවේදනයේ සඳහන්.

එහි 12 වැනි වගන්තිය මගින් එලිසබෙත් රැජිණගේ “රැජිණ” තනතුර ඉවත් කරන ලද බවත් ඉන් පසුව ජනරජය ඇති වූ බවත් එ.ජා.ප. ය පවසනවා.

එ.ජා.ප. ය සිය නිවේදනයෙන් ප්‍රශ්න කර සිටින්නේ ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ පාලනයකට ගොස් ජනරජ ව්‍යවස්ථාව ඉවත් කිරීමට දැයි යන්නයි.

” නැවත “ඔටුන්න” ගෙනවිත් එය පළඳවා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේද?” යනු වෙන් ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

මෙසේ ක්‍රියාකරන්නේ වැඩි ඡන්ද ප්‍රමාණය හිමිවුවත් බහුතර ඡන්දයවත් නොලැබුණු පාලකයෙකු බව අමතක කළ නොහැකි බව එ.ජා.ප නිවේදනයේ දැක්වෙනවා.

එ.ජා.ප.ය යෝජනා කරන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතු බවයි.

 

 

Share This