
“ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට, විද්‍යාව අපගේ ජාතික න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් විය යුතුයි” – අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
නවීන දැනුම මත පදනම් වූ සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම්, විද්‍යාව අපගේ ජාතික න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් පළ කලේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ ජාතික විද්‍යා සතියේ සමාප්ති උත්සවයට එක් වෙමින්.
“විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” තේමා කරගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ ජාතික විද්‍යා සතිය නිමාවට පත් වුණේ පසුගිය 14 වැනිදායි.
එම සමාප්ති උත්සවය පැවැත් වුණේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
සමාජය තුළ විද්‍යා හා තාක්ෂණය විෂය ක්ෂේත්‍රය ප්‍රචලිත කිරීමත්, විද්‍යා සාක්‍ෂරතාව ඉහළ නැංවීමට පරිසරය සැකසීමත් අරමුණු කර ගනිමින් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් මාලාවක් විද්‍යා සතිය තුල ක්‍රියාත්මක කෙරුණා.
අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන, රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලය, උසස් අධ්‍යාපන ආයතන, වෙනත් සංවර්ධන ආයතන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සහයෝගය ඇතිව විද්‍යා හා තාක්ෂණ රාජ්ත්‍රාන්තික සාකච්ඡා, විද්වත් සංවාද, විද්‍යා පා ගමන, අනුබද්ධ ආයතනයන් හි මහජන දින, නව නිපැයුම් තරග, අභ්‍යවකාශ තාක්ෂණය ඇතුළු තාක්ෂණ ප්‍රදර්ශන, අධ්‍යාපන වැඩමුළු, කලාව හා විද්‍යාවේ හමුවීම, ඡායාරූප ප්‍රදර්ශන ඇතුළු විද්‍යාවේ ප්‍රගමනයට ඉවහල් වන වැඩසටහන් ගණනාවක් මෙම සතිය තුළ ක්‍රියාවට නැංවීම සිදු කළා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා:
“ජාතික විද්‍යා සතිය තවත් සාම්ප්‍රදායික සැමරුමක් නොවේ. අප අමාත්‍යාංශය මෙරට පර්යේෂණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම, විද්‍යා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, නවෝත්පාදන වාණිජකරණයට සහායවීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තියට ප්‍රවර්ධනය පූර්ණ ලෙස කැපවී සිටිනවා.” යනුවෙන් පැවසුවා.
“Importants of Field Based Science and It’s Utilitization: Sri Lanka’s Development Through Dessemination” තේමා කර ගනිමින් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය නිමේෂ් ජයසිංහ මහතා විසින් සමාප්ති උළෙලේ ප්‍රධාන දේශනය සිදු කළා.
සමාප්ති උත්සවයේදී අමාත්‍යාංශය සංවිධානය කළ විද්‍යා විශේෂාංග ලිපි තරගාවලියේ දී තෝරාගත් විශිෂ්ට විශේෂාංග ඇතුළත් විද්‍යා ඊ මැගසීනය(Vidya e-Magazine) එළිදැක්වීම විශේෂත්වයක්.
විද්‍යා සතිය වෙනුවෙන් සංවිධානය කළ විවිධ තරගවලට අදාල සම්මාන ප්‍රදානය සහ ඇගයීම් සම්මාන සිදුකිරීමත් සිදු කළා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, UNIDO සම සහයෝගයෙන් පැවැත්වූ නියාමන බලපෑම් ඇගයීම (Regulatory Impact Assessment -RIA) වැඩමුළුවේ දී නිර්දේශ කෙරුණු, ජාතික තත්ත්ව යටිතල පද්ධතිය ශක්තිමත් කිරීමේ හා සංවර්ධන පිළිබඳ ඉදිරි යෝජනා ඇතුලත් ප්‍රතිපත්ති වාර්තාව නිළ වශයෙන් අමාත්‍යංශය ලේකම්වරයාට බාරදීමද සිදුකෙරුණා.


