ශ්‍රීලංකන් ගුවන් සේවයට  “APEX – Best In Food and Beverage” සම්මානය

ශ්‍රීලංකන් ගුවන් සේවයට “APEX – Best In Food and Beverage” සම්මානය

2026 APEX සම්මාන උළෙලේ දී මධ්‍යම/දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන (Best In Food and Beverage) සඳහා වූ සම්මානය දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වුණා.

එය ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයන ජාත්‍යන්තර මට්ටමේ විශේෂ සම්මානයක් වන අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර හා දේශීය රසයන්ගෙන් පිරි විවිධාංගීක ආහාර මෙනුවේ උසස් ගුණාත්මකභාවය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

එමෙන්ම 2026 APEX සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් (Four Star Major Airline) ලෙස ශ්‍රේණිගත කිරීම විශේෂයි.

එය ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලෙස සැලකෙනවා.

ලොව ප්‍රමුඛතම සංචාරක සංවිධාන යෙදවුමක් වන ‘TripIt by Concur’ ඔස්සේ මිලියනයකට අධික මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම APEX සම්මාන ලබාදීම සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබනවා.

මෙම සම්මාන උළෙලේදී ගෝලීය වශයෙන් ගුවන් සේවා 600 කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කරනු ලබන අතර, එක් එක් කලාපයේ හොඳම ගුවන් සේවා මෙන්ම ගුවන් යානයේ ආසන පහසුව, මැදිරි සේවා, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලබනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් මෙම සම්මානය සම්බන්ධයෙන් පළකළේ මෙවැනි අදහසක්.

“මෙම විශිෂ්ටත්ව සම්මානය දෙවරක් ලැබීම අපගේ ගුවන් මගීන් සමඟ අප ඇති කර ගෙන ඇති ශක්තිමත් බැඳීම පිළිබිඹු කිරීමක්. සෑම ගුවන් ගමනකදීම අපගේ මගීන් වෙත උසස් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි රසවත් ආහාර පිරිනැමීමට අමතරව ඒ තුලින් අප රටේ ආහාර සංස්කෘතිය පිළිබඳ පණිවිඩයක් ලබා දෙනවා. මෙම ජයග්‍රහණය දී අප වෙත සහයෝගය ලබාදුන් සෑම සංචාරකයෙකුටම අපි බෙහෙවින් කෘතඥ වෙමු. අපගේ මගීන් වෙත උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන් හුරුපුරුදු බවක් ගුවන් යානය තුළදී ලබාදීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි. ”

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාරපාන මෙනුවට අනුව මගීන්ට තම රුචි අරුචිකම් වලට ගැලපෙන පරිදි ආහාර පාන වර්ග තෝරාගැනීමට හැකි වන අතර, ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමත් සිදුකෙරෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරන සෑම ගමනාන්තයකටම ආවේණික ආහාරපාන , එහි සූපශාස්ත්‍ර අනන්‍යතාවය රැකගනිමින් නැවුම්ව , විචිත්‍රවත් වර්ණ සහ මිහිරි රසයන් සමඟ උණුසුම් ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරකත්වයත් එක්ව රස විඳීමට අවස්ථාව හිමි වනවා.

ශ්‍රීලංකන් ගුවන් යානයක ගමන් කරන මගීන්ට හිමි වන සුවිශේෂීම අත්දැකීමක් වන්නේ විශ්වසනීය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගත් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලද ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාරපාන එකතුවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලොව පුරා රටවල් 61 ක ගමනාන්ත 120 ක (codeshare හවුල්කරුවන් සමග) සිය මෙහෙයුම් සිදු කරනවා.

 

Share This