
ත්‍රිකුණාමල දහම්පාසල් ගොඩනැගිල්ලක් බව කියන බිම නීතිවිරෝධී ඉදිකිරීමක් බවට කතා – පොලීසියෙන් නිවේදනයක්
ත්‍රිකුණාමලය, මිහිදුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමටයාමේදී එම විහාරස්ථානයේ ඊයේ ඇති වූ සිද්ධිය හෙළාදකින බව ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති ස්ථවිරයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ත්‍රිකුණාමලය කොටුව ෆ්රෙඩ්රික් ටච්බේ වෙරළ තීරයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ දහම් පාසල යළි ආරම්භ කිරීම සඳහා මිහිදුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල් ගල තැබීම ඊයේ (17) පෙරවරුවේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
මෙම ස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් අදාළ විහරස්ථාන භූමියේ තැන්පත් කිරීමට යාමේදී පොලිසිය, මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේ පෙරේදා රාත්‍රියේයි.
කෙසේ වෙතත් අදාළ බුද්ධ ප්‍රතිමාව පොලිසියේ මැදිහත්වීමෙන් යළි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයට වැඩම කරවීමට ඊයේ (17) දහවල් කටයුතු කෙරුණා.
අනතුරුව ඊයේ රාත්‍රියේ එම විහාරස්ථානයේ බෝධිපූජා පිංකමක්ද සංවිධාන කර තිබුණා.
කෙසේ නමුත් අද පෙරවරුවේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානය අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබූ අතර, එහි සමකාමී තත්ත්වයක් දක්නට ලැබුණා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වුණේ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිල්ලක් සිදුකළ බවයි.
පසුව ත්‍රිකුණාමලය පොලිසිය එම ස්ථානයට ගොස් අදාළ අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසට දැනුවත් කළත් එය නොනවත්වා සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අදාළ සිදුවීම මුල්කරගෙන කඩාකප්ල්කාරී පුද්ගලයෙකු අදාළ බුද්ධ ප්‍රතිමාවට යම් හානියක් සිදුකළ හොත් එය ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට ගැටලුවක් විය හැකි බැවින් බුද්ධ ප්‍රතිමා වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවීමට පෙරදින රාත්‍රියේ කටයුතු කළ බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම අවස්ථාවේ ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කලද කිසිදු අවස්ථාවක පොලිසිය විසින් මහා සංඝරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදුකර නොමැති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
