ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක පිහිටුවීමට ගිවිසුමක්

ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක පිහිටුවීමට ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ වාලච්චේන, ත්‍රිකුණාමලය සහ මයිලඩි යන ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක (MRCU) පිහිටුවීමේ ව්‍යාපෘතියේ නිල ගිවිසුම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී අත්සන් කර තිබෙනවා.

මෙම පද්ධති මඟින් මුහුදට යාත්‍රා දියත් කරන ධීවරයින්ගේ ආරක්ෂාව හා සන්නිවේදනය සාධනීය ලෙස වර්ධනය කිරීමට නියමිත අතර, අදාළ ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සංවර්ධන ආධාර ඒජන්සියේ (JICA) තාක්ෂණික සහ මූල්‍ය ආධාර පදනමෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත සහ JICA නියෝජ්‍ය අධ්‍යක්ෂ නොමුරා ටෙට්සුයා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මුහුදේ බහුදින ධීවර බෝට්ටු සමඟ සම්බන්ධතාව අඛණ්ඩව පවත්වා ගැනීම, තත්ත්වය අධීක්ෂණය කිරීම, කාලගුණ අනතුරු ඇඟවීම් සහ ආරක්ෂක දැනුම්දීම් වේගවත් කිරීම‍යි.

මීට අමතරව හදිසි අවස්ථාවලදී ගලවා ගැනීමේ ප්‍රතිචාර දැක්වීම් කාලය අවම කිරීම ද අදාල අරමුණු අතරට අයත්.

නව සන්නිවේදන මධ්‍යස්ථාන තුල ස්ථාපනය වන යටිතල පහසුකම් හරහා, මුහුදේ ඇතිවන අනතුරු තත්ත්වයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හැකි වන අතර, ධීවරයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇති.

මෙම නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක වඩාත් ඵලදායී වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින දහස් ගණනක් වන ධීවර ප්‍රජාවටයි.

එමෙන්ම නීතිවිරෝධී මසුන් ඇල්ලීම අවම කිරීම, නෞකා ගමන් මාර්ග සැලසුම් කිරීම වඩා කාර්යක්ෂම කිරීම සහ ධීවර කළමනාකරණය ජාතික මට්ටමින් ශක්තිමත් කිරීමත් මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ වනවා.

යෝජිත ව්‍යාපෘතිය ලබන වසර තුළදී ආරම්භ කර අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

 

Share This