
දඩමස් තියාගත් අනුරාධපුරේ කපුවා කපෝති (VIDEO)
නීති විරෝධී මස් තොගයක් සමඟ අනුරාධපුර පූජා නගරයේ කපුවෙකු බව කියන පුද්ගලයෙකු විශේෂ වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, විහාර පළුගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනුරාධපුර නගරයේ කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුට අයත් විහාරපළුගම ප්රදේශයේ ඇති නිවසක් වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් වටලනු ලැබුවා.
ඒ අදාළ පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස විවිධ සතුන්ගේ මස් ළඟ තබාගන්නා බවට රිටිගල වනජීවී කලාපයේ වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් මතයි.
එහිදී වනජීවී නිළධාරීන් විසින් අදාළ සැකකරුගේ නිවසේ බැරලයක සිටි ඉබ්බන් හය දෙනෙකු සහ ශීතකරණයක ගබඩා කර තිබූ විවිධ සතුන්ගේ මස් තොගයක් ද වනජීවී නිළධාරින් සිය භාරයට ගනු ලැබුවා.
මීට අමතරව වනජීවි නිළධාරීන් කටයුතු කළේ අදාළ සැකකරු පැළඳ සිටි ඇත් දළවලින් නිපදවන ලද පළඳනාවක් ද භාරයට ගැනීමටයි.
අනුරාධපුර වනජීවී නිලධාරීන්ගේ ද සහාය ඇතිව විශේෂ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් සැකකාර කපුවා හා භාරයට ගත් දඩමස් හා ඉබ්බන් මෙන්ම ඇත්දළ පළඳනාව ද අනුරාධපුර අධිකරණයට ඊයේ ඉදිරිපත් කළා.
වන ජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පුද්ගලයා සතුව ගෝන මස් කිලෝ ග්රෑම් 1 ග්රෑම් 800 ක්, ගල් ඉබිමස් ග්රෑම් 600 ක්, කබල්ලෑමස් කිලෝ ග්රෑම් 1 ග්රෑම් 940 ක්, මුව මස් ග්රෑම් 600 ක්, ඉබි බිත්තර 14 ක් සහ ජීවී ගල් ඉබ්බන් 6 දෙනකු භාරයට ගත් බවයි.
සැකකරු අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
