කඩුගන්නාවේ කඳු කඩා වැටීමෙන් අයෙක් මරුට – මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වසයි (VIDEO)

කඩුගන්නාවේ කඳු කඩා වැටීමෙන් අයෙක් මරුට – මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වසයි (VIDEO)

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී මෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, සිව්දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බවයි.

ගනේතැන්න ප්‍රදේශයේ මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී තිබෙනවා.

වාර්තා වන්නේ මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවටයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ පහළ කඩුගන්නාව 98 කිලෝ මීටරය අසල ගල් පෙරලීමක් සිදුව ඇති බවයි.

කි.මී. 97 කණුවේ සිට කි.මී. 99 දක්වා අනතුරු දායක බව මීට පෙර දැනුම් දී ඇතැයි ද ඔහු පැවසුවා.

වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ඊයේ දිනයේ (21) එම ප්‍රදේශයට විශාල වර්ෂාවක් නොතිබුණ ද අනතුරු ඇගවීම් දන්වා තිබූ බවයි.

මෙම ප්‍රදේශයට ඉහළින් දුම්රිය මාර්ගය පිහිටා තිබීම නිසා වඩාත් අවදානම් සහගත බව ද සේනාධීර මහතා සඳහන් කළා.


Share This