ඊයේත් පළාත් පාලන ආයතන කිහිපයක ජා.ජ.බ. අය වැය පරදී

ඊයේත් පළාත් පාලන ආයතන කිහිපයක ජා.ජ.බ. අය වැය පරදී

2026 වර්ෂය සඳහා තවත් ප්‍රාදේශීය සභා කිහිපයක් සඳහා ඡන්ද විමසීම් ඊයේ (21) දිනයේදී ද සිදු කෙරුණා.

ඒ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මුලටියන ප්‍රාදේශීය සභාවේ අයවැය ඊයේ ඒකමතිකව සම්මතවී තිබෙනවා.

මුලටියන ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන සිටින පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ විපක්‍ෂයේ පළමු අයවැය මුලිටියන ප්‍රදේශීය සභාවේ සභාපති රේණුක සංජය මහතා විසින් ඊයේ ඉදිරිපත් කෙරුණා.

එහිදී එම අයවැය පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව පැමිණ සිටි සියලු මන්ත්‍රිවරුන්ගේ සහයෝගයෙන් ඒකමතිකව සම්මත වුණා.

ජාතික ජන බලවේගයේ පැමිණ සිටි මන්ත්‍රිවරුන් සියලු දෙනාම අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, මෙය මුලටියන ප්‍රාදේශීය සභා ඉතිහාසය තුළ මෙතෙක් සිදු වූ විශේෂ සිදුවීමක් ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර, ජාතික ජන බලවේගයට බලය හිමි බලංගොඩ නගර සභාවේ 2026 වසර සඳහා අයවැය ඊයේ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පක්‍ෂව සහ විපක්‍ෂව ඡන්ද 8 බැඟින් හිමිව තිබුණා.

එහිදී ඡන්ද සමව හිමිවීම මත සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කර ගැනීමට හැකිව තිබුණා.

මේ අතර, ජාතික ජන බලවේගයේ බලය හිමි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය ද එක් ඡන්දයකින් පරාජයට පත් වුණා.

ඒ අයවැයට පක්‍ෂව ඡන්ද 13ක් සහ විපක්‍ෂව ඡන්ද 14ක් හිමිවීමත් සමඟයි.

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් ඊයේ පරාජයට පත්වුණා.

ඒ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් තිදෙනා, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරයා මෙන්ම සර්ව ජනබලය මන්ත්‍රිවරයාද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමත් සමඟයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 6 දෙනා අයවැයට පක්‍ෂව ඡන්දය භාවිත කළා.

මේ අතර, සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රිවරයෙක් රෝහල්ගත කිරීමට පියවර ගැණුනා.

Share This