
ඉන්දියාවෙන් පන්නා රැගෙන ආ බීඩි ඔතන කොළ ගෝනි 30 ක් සමග පුද්ගලයෙක් සැකපිට උස්වැටකෙයියාව මුහුදු තීරයේ දී අත්අඩංගුවට
පමුණුගම පොලිසිය රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් නීති විරෝධී තෙන්දු කොළ හා භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත……….. පමුණුගම පොලිසිය ඊයේ (22) උස්වැටකෙයියාව මුහුදු තීරයේ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සෙසු නිලධාරීන් එක්ව ආරම්භ කර ඇති අතර ධීවරයන් පිරිසක් විසින් දියඹේ සැක සහිතව ගෝනි ධීවර බෝට්ටු වලට මාරු කරන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා.
පසුව කඩිනමින් සෙසු නිලධාරීන් පිරිසක් කැඳවා මුහුදු තීරයේ ආරක්ෂාවට යෙදවීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව දියඹේ සිටි ධීවරයන් පිරිස ගොඩබිමට පැමිණි පසු පරීක්ෂා කිරීමට යාමේ දී ඔවුන් පලායාමට උත්සාහ කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ අහසට වෙඩි තබා ධීවර බෝටු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු ධීවරයන් පලා ගොස් ඇති අතර පලා ගිය සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවට පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් ධීවර බෝට්ටු දෙකක ගෝනි 30 ක් තුළ, බීඩි එතීමට ගන්නා තෙන්දු කොළ කිලෝ 1500 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
වැඩිදුර කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ ධීවර වෘත්තිය කරන මුවාවෙන් ඉන්දියාවේ සිට නීති විරෝධී ආකාරයට බීඩි එතීමට ගන්නා තෙන්දු කොළ ගෙන විත් ඇති බවටයි.
පොලීසිය භාරයට ගත් නීති විරෝධී තෙන්දු කොළ හා ධීවර බෝට්ටු දෙකේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 31 වන දුන්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයෙක්.


