ඵලදායිතාව වැඩි දියුණු කරගන්නා සංවිධිත ව්‍යාපාර සඳහා ඉදිරියේදී රජයෙන් සහන

ඵලදායිතාව වැඩි දියුණු කරගන්නා සංවිධිත ව්‍යාපාර සඳහා ඉදිරියේදී රජයෙන් සහන

කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) මගින් වසර දෙකකට වරක් පවත්වනු ලබන ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව පුරා ඵලදායිතාව, නවෝත්පාදනය සහ ආයතනික විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ‍යි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට කර්මාන්තකරණයේ පුනරුදයක් ඇති කිරීමට නම්, දේශීය ව්‍යාපාරිකයන් තම ඵලදායිතාව අවම වශයෙන් 30% කින් වර්ධනය කර ගැනීමේ සැලැස්මක් සකස් කළ යුතු බවයි.

එමෙන්ම තම දැක්ම ජාත්‍යන්තරය දෙසට යොමු කරගෙන සිටින, ඵලදායීතා සංකල්ප වෙත යොමු වන ව්‍යවසායකයන් හට ඉදිරියේදී රජය මඟින් ලබාදෙන අඩු පොලී ණය සහන, ඉඩම් ලබාදීම් වැනි සේවාවන්වලදී ප්‍රමුඛතාවයක් ලබා දීමට සූදානම් බවත් ඔහු කියා සිටියා.

මේ වනවිට ජාතික ඵලදායතා ලේකම් කාර්යාලය (NPS) හරහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් දේශීය ආයතනවලට ඵලදායතා සංකල්ප පිළිබඳව නොමිලේ දැනුම ලබා දීමට කටයුතු කරන අතර සාමාන්‍යයෙන් ආයතනයකට මෙවැනි සේවා ජාත්‍යන්තර මට්ටමින් ලබාගැනීමට දිනකට ඩොලර් 2,000 ක් පමණ වැය වන බවත් දේශීය වශයෙන් අවම රුපියල් ලක්ෂයක් පමණ වැය වන බවත් නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය සඳහා ආයතන 2,000ක් ලියාපදිංචි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

 

Share This