
ආණ්ඩුව 2028 වෙද්දී සහල් ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වන සැලසුමක ඇමති ලාල්කාන්ත කියයි
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ධීවර ප්‍රජාව සඳහා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම ඊයේ (22) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වන ධීවරයන්ට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවනු අති.
අමාත්‍යාංශය පවසන්නේ නියමිත දිනට හෝ පෙර වාරික මුදල් ගෙවා නිම කිරීමෙන් පසුව වයස අවුරුදු 60 සිට මාසික විශ්‍රාම වැටුපක් හිමිවන බවයි.
75% ක් වාරික මුදල් ගෙවා ඇති දායකයින්ට විශ්‍රාම වැටුප් හිමිකම් අහෝසි වීමකින් තොරව අවුරුදු 60 සිට ගෙවා ඇති මුදලට සරිලන මාසික වැටුපක් ලබා ගත හැකි වනවා.
25% – 75% අතර දායක මුදල් ගෙවා ඇති විටකදී ගෙවා ඇති සම්පූර්ණ මුදල ඊට සරිලන පොලියත් සමග ලබාගැනීමේ හැකියාව මෙම ධීවර විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයට දායක වන ධීවරයන් වෙත හිමිවන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළා.
තවද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර අර්ධ බෙලහීනතාවයට ලක් වූ විට පාරිතෝෂික මුදලක් හෝ විශ්‍රාම වැටුප් ගෙවන අවස්ථාවේ මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමේ හැකියාව, ස්ථිර බෙලහීනතාවයට පත් වූ විට රුපියල් 50,000ක උපරිමය දක්වා පාරිතෝෂිකයක් එකවර හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව ධීවරයට හිමියි.
විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුවහොත් වසරකට පසුව උරුමකරුට මුළු දායක මුදල ඊට සරිලන පොලියක් සමග ලබා ගැනීමට හැකි වනවා.
වාරික මුදල් මගහැරුණු අවස්ථාවකදී හිඟ මුදල් හා පොළිය ගෙවීමෙන් නැවත සහතික ඔප්පුව වලංගු කර ගැනීමේ හැකියාව හිමිවන අතර විශ්‍රාම වැටුප් ලබන අතරතුර දායකයා මිය ගියහොත් ඔහුට වයස අවුරුදු 80 වන තෙක් කාලාත්‍රයාට මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හැකියාව සහ ඉතිරි මුදල එකවර ලබාගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනු ඇති.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළා.
” අපේ අමාත්‍යාංශයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා එක මිටට ගොවි බිමට කියලා. ඒක පුරන් කුඹුරු අස්වැද්දීම වගේ නෙවෙයි. ඊට වඩා විශාලයි. වගා නොකළ ඉඩම්වල ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වගා කිරීම එහි අරමුණයි. එහිදී විශේෂයෙන් තෙත් කලාපයේ වගා නොකළ ඉඩම්වල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ විසිතුරු මාළු කර්මාන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. ඒ ක්ෂේත්‍රයේ ගැටලු ගොඩක් තියෙනවා. ජලජ පැළෑටි සම්බන්ධයෙනුත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ගැටළු දිහා පරිස්සමෙන් බැලිය යුතුයි.
දැනට අපි කුකුළු මස්වලින් ස්වයංපෝෂිතයි. ඒ කර්මාන්තයේ යෙදී සිටින්නන් ඒ තත්ත්වයට ඇවිත් ඉන්නවා. ආහාරයට ගන්නා මාළු ගැන හිතුවොත් අපනයනය කරන පැත්තට කටයුතු කරමින් ඉන්නවා.
මේ ළඟදි පාර්ලිමේන්තුවේදී මටත් විවේචනයක් කළා. ඒ විවේචනය කළේ පුදුම කෘෂිකර්ම ඇමති කෙනෙක්, කෘෂිකර්ම ඇමති කියනවලු අපි වවලයි අපි කන්නේ කියන සංකල්පය තුළම අපි නැහැ කියලා. එහෙනම් කට්ටියම එකතුවෙලා පරිප්පු කන එක නවත්වන්න ඕනේ. ඇපල් කන එකත් නවත්වන්න ඕනේ. අපට ආහාර හිඟයක් ඇතිවෙන්න දෙන්න බැහැ. මෙහි නිෂ්පාදනය කරන ටින් මාළු ප්‍රමාණය මදි නම් ආනයනය කරන්න වෙනවා. අපි වවලයි අපි කන්නේ කියන සංකල්පය එන්න ඇත්තේ අපි දුප්පත් වාසීව ඉන්නකොට. ජාත්‍යන්තර සම්බන්ධතා, ජාත්‍යන්තර ගනුදෙනු, වෙළඳපොළ ගෝලීයකරණය නොතිබුණු කාලයක වෙන්න ඇති.
අපි ස්වයංපෝෂිත වෙනකන් ඉන්නේ නැහැ. විදේශ රටවලට බඩු යවන්න. අපි නිෂ්පාදනය කරනවා අපනයනය කරනවා. ඒ අතර ආනයනය කරනවා. ඒ නිසා මම යෝජනා කරනවා අපි වවලයි අපි කන්නේ කියන සංකල්පය තියාගන්න එපා කියලා. 2028 වෙද්දී සහල් ආනයනය සම්පූර්ණයෙන්ම නවත්වනවා කියන සැලසුමක අපි ඉන්නවා.”




