
කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර සපත වෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට අද ( 24) එක්වෙමින්.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී මෙම පත්වීම් ලිපි ප්රදානය කෙරුණා.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා ;
” සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක්. ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා, අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය කිරීමට ඇති සූදානමයි. ශ්‍රී ලංකාවට නැවතත් නැගී සිටිය හැක්කේ බොරු පොරොන්දු මගින් හෝ, දේශපාලන නාට්‍ය හරහා හෝ සටන් පාඨ හරහා හෝ නොවෙයි. විනය, නීතිය, යුක්තිය, ගෞරවය සහ පිරිසිදු පාලනය මගින් පමණයි.
මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් වුණ නමුත් තවම ඒ දූෂිත සංස්කෘතිය වෙනස් වෙලා නැහැ. මැතිවරණයකින් කාලයක් පුරා පැළපැදියම් වුණු දූෂිත සංස්කෘතියක් වෙනස් කරන්න බැහැ. ඒ සඳහා දිගු කාලයක් පුරා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. මැතිවරණයෙන් ලැබුන ඒ මහජන අභිලාෂය සමග අපි ඒ යහපත් සංස්කෘතිය නිර්මාණය කිරීමේ ගමනක් යමින් සිටිනවා.
අපිට සහ රටට තිබෙන ප්‍රධාන තර්ජනය ප්‍රතිවාදී දේශපාලනය නොවෙයි. විෂ මත්ද්‍රව්‍ය හා බැඳුනු අපරාධ රාජ්‍යයයි. අපි අවංකව කතා කරමු, දශක ගණනාවක් තිස්සේ, පාතාල ලෝකය සෙවනැලි රජයක් මෙන් අප අවට සැරිසරමින් සිටිය බව අප සියලු දෙනා දැනගෙන එය නොදැන මෙන් සිටියා. මත්ද්‍රව්‍ය ජාල විසින් ගම්මාන, පවුල් සහ දරුවන් විනාශ කළා. රජයේ ආයතන වගේම සමාජ සංස්ථා මේ අපරාධ රාජ්‍යවල ගොදුරු බවට පත්වුණා. එම ආයතන සියල්ල දුර්වල වී අපරාධකරුවන් ජාවාරම්කරුවන්ගේ පාලනයට හසු වී තිබුණා.
මේ රටේ මීට පෙර වෙන කවරදාවත් නොදුටු තීව්‍රතාවයකින් අපි මත්ද්‍රව්‍ය මාෆියාවේ සහ පාතාල ජාලවල කොඳු නාරටිය බිඳ දමමින් සිටිනවා. සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස ලෙස ඔබේ භූමිකාව අතිශයින් ම මෙහිදී ඉතා වැදගත්. ඔබ ජීවත්වන සමාජයේ බිම් මට්ටමේ යුක්තියේ ඇස් සහ කන් වන්නේ ඔබයි. කතා කිරීමට බිය වන පවුල්වල ආරක්ෂකයා වන්නේ ඔබයි. බියෙන් තොරව අපරාධවලට එරෙහිව නැගී සිටීමට පුරවැසියන් දිරිමත් කරන හඬවන්නේ ඔබයි. ප්‍රජාව අධිකරණ පද්ධතිය විශ්වාස කරන විට, අපරාධකරුවන්ට සැඟවිය නොහැකියි.
“යුක්තිය වරප්‍රසාදයක් නොවෙයි. එය උත්පත්තියෙන් ම ලද අයිතියක්” හම්බන්තොට සිංහල දරුවෙක්, යාපනයේ දෙමළ තරුණයෙක්, පුත්තලමේ මුස්ලිම් වෙළෙන්දෙක්, නුවරඑළියේ මලයහම් තේ දළු නෙලන්නියක් මේ සියලු දෙනාටම නීතිය ඉදිරියේ එකම ආකාරයෙන් ගෞරවය දැනිය යුතුයි. අපි නිර්මාණය කිරීම සඳහා සටන් කරන ශ්‍රී ලංකාව මෙයයි. අපි අපේක්ෂා කරන ශ්‍රී ලංකාව මෙයයි. කිසිවෙකු අයුක්තියට බිය නොවන, නීතියට ඉහළින් කිසිවෙකු නොමැති ජාතියක් බවට අප පත්විය යුතුයි.
සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස, ඔබ ගන්නා සෑම තීරණයකදීම නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවට වන මූලධර්මය අනුව සිදුවිය යුතුයි. ඔබේ අත්සනට ඒ උත්තුංග බලය ඇත. ඔබේ තනතුරේ වගකීම එම බරෙන් ගන්න. ඔබේ අවංක බවින් ජීවිත වෙනස් කළ හැකියි.
නූතන ජාතියක් සඳහා නවීන අධිකරණ පද්ධතියක් අවශ්‍යයි. අපි එය නවීකරණය කරනවා පමණක් නොව අපි පද්ධතිය පිරිසිදු කරමින් ද සිටිනවා.
එසේම සෑම නීතිමය ලේඛනයක්ම ඩිජිටල්කරණය කිරීමටත්, AI කෘතිම බුද්ධි සහාය ඇතිව නඩු කළමනාකරණය හඳුන්වා දීමටත්, ප්‍රජා පාදක ගැටුම් නිරාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් ත්රිභාෂාවලින් සේවා සැපයීම මගින් සෑම මට්ටමකින්ම වගවීම සහතික කිරීම හා මහජන සේවයට ගෞරවය නැවත ගෙන ඒමටත් අප පියවර ගනිමින් සිටිනවා.
කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැහැ. සාම විනිසුරු පද්ධතියට අවශ්‍ය පුහුණුව සහ යල්පැන ගිය ක්‍රම හා ක්‍රියා පටිපාටිවල ව්‍යාකූලතා විසඳීමට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ භාවිතය මෙන්ම යහපත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර සැබවින්ම ජනතාව කේන්ද්‍ර කරගත් යුක්තියේ කුළුණක් බවට ශක්තිමත් කිරීමේ පියවර ගනිමින් සිටිනවා. එම නිසා අද පටන් ඔබේ යුතුකම වන්නේ හුදෙක් රැකියාවක් කිරීම නොවේ. අද, ඔබ නිලධාරියකුට වඩා වැඩි ආදර්ශමත් චරිතයක් බවට පත් වෙනවා. ඔබ යුක්තියේ ආරක්ෂකයකු, ගෞරවයේ ආරක්ෂකයකු සමග පොරොන්දු වූ නව දේශපාලන සංස්කෘතියේ සංකේතයක් බවට පත්වෙනවා. ”
ප්‍රජාවට කරන ලද සේවය සහ අධ්‍යාපනික සුදුසුකම් අනුව තෝරාගන්නා ලද පුද්ගලයින් අතරින් 114 දෙනෙකුට නව සාම විනිසුරු පත්වීම් ලබාදීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඔවුන් අතරින් 40 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීම අද සිදු වුණා.
