ත්‍රිරෝද රථයෙන් හිස එළියට දමාගෙන ගිය පෙර පාසල් දැරියගේ හිස ටිපර් රථයක වැදී මරුට

ත්‍රිරෝද රථයෙන් හිස එළියට දමාගෙන ගිය පෙර පාසල් දැරියගේ හිස ටිපර් රථයක වැදී මරුට

පෙර පාසල් දරුවන් අට දෙනකු හා කාන්තාවක් ගමන් ගත් ත්‍රිරෝද රථයක සිටි දැරියකගේ හිස මිල්ලනිය, රන්මිනික ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් එම දැරිය මිය ගොස් ඇතැයි මිල්ලනිය ‍පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පරගස්තොට , බටහිර පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අමායා දිව්‍යාංජලී නැමැති සිව් හැවිරිදි දැරියක්.

මියගිය දැරිය ලබුගම ප්‍රදේශයේ පෙර පාසලක අධ්‍යාපනය ලබන අතර පෙර පාසල නිම වීමෙන් අනතුරුව එම පෙර පාසලේ මිතුරු මිතුරියන් හත් දෙනෙකු සමග සුපුරුදු ලෙස ත්‍රීරෝද රථයකින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසුවා.

පොලීසිය පවසන්නේ ත්‍රීරෝද රථය මිල්ලනිය, රන්මිනික ප්‍රදේශයට පැමිණෙමින් සිට ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ත්‍රී රෝද රථයෙන් පිටතට හිස යොමාගෙන සිට ඇති දැරියගේ හිස වැදී ඇති බවයි.

බරපතල තුවාල ලද දැරිය හල්තොට දිසා රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව එහි සිටි වෛද්‍යවරු මූලික ප්‍රතිකාර ලබාදී අනතුරුව ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවයි.

මියගිය දැරිය පවුලේ එකම දරුවා බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු මෙන්ම ත්‍රිරෝද රථ රියදුරුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Share This