දැදුරු ඔය “රුදුරු” වී බිත්තර නිෂ්පදකයින් බිමට සමතලා වෙයි

දැදුරු ඔය “රුදුරු” වී බිත්තර නිෂ්පදකයින් බිමට සමතලා වෙයි

ලංකාවේ බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් විෂාලතම දායකත්වයක් සපයන එම්.ඒ.එම්. ෆාර්ම් ආයතනය පැවති ධාරානිපාත වර්ෂාව නිසා වාන් දොරටු 8 ම විවෘත කිරීමට සිදුවූ දැදුරු ඔය ජලාශයේ පිටාර ජලය හේතුවෙන් මුලුමනින් විනාෂ වී ගොස් තිබෙනවා.

ඔවුන් පවසන්නේ මේ වනවිටත් විවිධ රාජ්‍ය ආයතන ආපදා සහන ආයතන පැමිණ එහි නිරීක්‍ෂණ සිදුකරමින් පැවතිය ද පවත්නා ජලය`හේතුවෙන් එම පරිශ‍්‍රයේ ඇතැම් ස්ථාන වෙත ලගාවීමට හෝ නොහැකි තත්ත්වයක් පැවතීම හේතුවෙන් අලාභය ගණනය කළ නොහැකි බවයි.

කෙසේවෙතත් සමස්තලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා බෝට්ටු කිහිපයක් යොදවා අදාළ ගොවිපලට ඇතුලුව එහි එක් පරිශ‍්‍රයක තෙදිනක් පුරාවට ආහාර වර්ජිතව රැදී සිටි ගොවිපල සේවකයින් හා අසළ ගමක සිටි විශාල පිරිසක් මුදාගැනීමට කටයුතු කර තිබුණා.

තවත් පරිශ‍්‍රයක බිම් කොටු වල බිත්තර නිෂ්පාදනය කරමින් සිටි කිකිලියන් ලක්‍ෂ 40 කට ආසන්න ප්‍රමාණයක් කොටු තුලම මඩ සහිත ජලය පිරී තිබීම නිසා මියගොස් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.

වෙළඳපොලට නිකුත් කිරීමට ගබඩාකර තිබූ බිත්තර අනූ දහසක් පමණ වූ බහාලූම් දෙකක්ද ජලයට ගසාගන ගොස් ඇතැයි සඳහන්.

කෙසේවෙත් බිංගිරිය පොලිසිය වහා මැදිහත්ව ආපදා සහන මධ්‍යස්ථානය සම්බන්ධ කරගනිමින් බෝට්ටු දෙකක් යොදවා අදාළ ස්ථානය වෙත ලගා වීමට උත්සාහ කළ ද සාර්ථක වී නැහැ.

සමස්තලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා වහාම ජෙට්ස්කි බෝට්ටු කිහිපයක් යොදවා මුදාගැනීමේ කටයුතු හා පිසූ ආහාර ඇතුලූ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරමින් සිටියදී අදාළ ජෙට්ස්කි බෝට්ටුවද ක්‍රියා විරහිතවී ජලයේ ගසාගන ගොස් තිබෙනවා.

එහි ක්‍රියාකරු මහත් පරිශ‍්‍රමයක් දැරීමෙන් පසුව බේරාගෙන තිබෙනවා.

එමෙන්ම අදාළ භූමිභාගය පෙරේදා(29) ජලාශයක් ලෙසින් දිස් වූ අතර මතු පිටට දැකගත හැකිවී ඇත්තේ කුකුල් කොටු 3ක් පමණයි.

ඉතිරි සියල්ල ජලයෙන් වැසී යටවී පැවතුන බව අප වාර්තාකරු සඳහන් කළා.

එහි ගබඩාකොට තිබූ සත්ව ආහාර ද ටොන් ගණනක් මේ වනවිට දියබත්ව ප්‍රයෝජනයට ගතනොහැකි අන්දමින් විනාශ වී තිබෙනවා.

විදුලි ජනක යන්ත්‍ර ආදී මිලෙන් ඉහළ විදුලිය උපකරණ විනාශවී ගොස් ඇතැයි සඳහන්.

මේ අතර දැදුරු ඔයේ ගසාගෙන පැමිණි ගවයින් ඇතුලු සත්ව මළකඳන් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුඟදක්ද පැතිරෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් එළඹ ඇති විපත්තිදායක අවස්ථාව නොසලකා පොලිසිය මගින් සම්බන්ධකර තිබූ ගලවාගැනීමේ මෙහෙයුමට කැඳවා තිබූ බෝට්ටුවක හිමිකරුවෙකු එගොඩට යාම වෙනුවෙන් රුපියල් හතලිස් දහසක මුදලක් ඉල්ලා සිටීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක්ද උද්ගත වී තිබෙනවා.

පසුව පොලිසිය වහා මැදිහත්ව මේ අවස්ථාවේ ව්‍යාපාර කිරීමට වෙලාවක් නොවන බව බෝට්ටුකරුට පැහැදිළි කර තරයේ අවවාද කර තිබෙනවා.

 

Share This