ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ” ස්වර්ණ ශ්‍රී සහන සත්කාරයට” ආධාර රැගෙන රට වටින් මහ පිරිසක් (VIDEO)

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ” ස්වර්ණ ශ්‍රී සහන සත්කාරයට” ආධාර රැගෙන රට වටින් මහ පිරිසක් (VIDEO)

මහ වැසි හමුවේ ගැලූ මහා ජල කඳටත් ඇතැම් ප්‍රදේශවල ඇති වූ නාය යෑමවලටත් හසු වූ විශාල පිරිසක් මේ වන විටත් පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් වෙත සරණක් වීමටයි ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය ආරම්භ කළේ.

මේ වන විට ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ බිම් මහල මුලුමනින්ම වෙන් කර තිබෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන සහනාධාර භාරගැනීමට සහ ආහාර පිස විපතට පත්ව සිටින අපේම ජනතාව වෙත ගෙන ගොස් දීම සඳහායි.

මහ වැසි, නාය යෑම් හා ජල ගැලීම් හේතුවෙන් අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතත්වයකටයි.

මුළු රටක්ම මේ වන විට පීඩාවට පත්ව අවසන්.

ඒ අතරින් ඇතැමෙකුට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණයි.

අසරණවූ මේ අපේම ජනතාව වෙනුවෙන් උපකාර වන්නට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ආරම්භ කළේ කවදත් ජනතාවාදී මාධ්‍ය මෙහෙවරක නියැලෙන්නන් ලෙසයි.

ඒ වැඩපිළවෙළේ තවත් පියවරක් ඉදිරියට තබමින් අමුද්‍රව්‍ය වෙනුවට ආහාර පිස ආහාර පාර්සල් විපතට පත්වූවන් වෙත ගෙන ගොස් දීමට අප කටයුතු කළේ ඔවුන්ට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ එය බව පසක් වූ නිසයි.

ඒ අනුව ඔරුගොඩවත්ත, ඔරියන්සිටිහි පිහිටි ස්වර්ණවාහිනී මූලස්ථාන පරිශ්‍රයේ විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් ආහාර පිසීමට හා යුහුසුලුව ඔවුන් වෙත රැගෙන යාමට ඊයේ රාත්‍රියේම කටයුතු කළා.

පැය 24 පුරා ක්‍රියාත්මක ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ට අද දිනය පුරා නන්දෙසින් ස්වේච්ඡාවෙන් පැමිණි ජනතාව සිය දායකත්වය දැක්වූයේ මෙලෙසයි.

එමෙන්ම ආයතන රැසක්ද මෙම මහඟු කර්තව්‍ය සඳහා දායක වෙමින් අපත් සමඟ අත්වැල් බැඳගත්තා.

මෙරට ප්‍රකට සන්නාමයක් වන නෙස්ලේ ලංකා සමාගම ද විපතට පත්වූවන්ට ස්වර්ණ ශ්‍රී සහන සත්කාර හරහා බෙදාදීමට විශාල භාණ්ඩ තොගයක් රැගෙන අද දහවල් අප පරිශ්‍රයට පැමිණියේ මෙලෙසයි.

ද්‍රව්‍යමය පරිත්‍යාගයන්ට අමතරව අපේම සහොදර ජනතාවගේ කුසගිනි නිවාලන මේ මහඟු මෙහෙවරට ශ්‍රමයෙන්ද දායක වීමට බොහෝ පිරිසක් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙට පැමිණ සිටියේ මෙලෙසයි.

ඒ අනුව සියලුදෙනාගේ දායකත්වයෙන් පිසූ ආහාර කොළඹ අවට ප්‍රදේශ රැසක අවතැන් වූ ජනතාව වෙත වගකිවයුතු ආකාරයෙන් ලබාදීමට අප කටයුතු කළා.

අපේම ජනතාවගේ හදගිනි නිවන ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ප්‍රජා මුළුතැන් ගෙය සඳහා සහල්, පරිප්පු, මිරිස්, තුනපහ ඇතුළු කුළුබඩු මෙන්ම සෝයාමීට්, ලූණු, කරවල, බිත්තර, පිටිකල පොල්කිරි, පැකට් ආදිය රැගෙන අප වෙත පැමිණ ඔබට ද සහය විය හැකිය.

ඊට අමතරව වියළි ආහාර, පානීය ජල බෝතල්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ගෙනැවිත් බාරදීම සඳහා අප දෙමටගොඩ කාර්යාලය මෙන්ම වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවද විවෘතයි.

හෙට්ටිවීදිය, බම්බලපිටිය, කිරිබත්ගොඩ, වත්තල, මීගමුව, නුගේගොඩ, මහරගම. කලුතර, ගාල්ල හා මාතර පිහිටි ස්වර්ණමහල් ශාඛා වෙත ද ඔබට පරිත්‍යාග ලබාදීමේ හැකියාව පවතිනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ට දායක වී අපේම සහෝදර ජනතාවට ශක්තියක් වන්නට අපත් සමඟ ඔබත් එක්වන්න.

මේ අසීරු මොහොතේ මනුසත්කම් බෙදා ගන්න හිතවත්කම රැගෙන ඔබත් එන්න.

 

Share This