හදිසි ආපදාතත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරනවා –  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

හදිසි ආපදාතත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ අපදාවට පත් ජනතාවට සහන ලබා දීම මෙන්ම අපදාවෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

 

ඇය පෙන්වා දෙන්නේ හදිසි ආපදාතත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාව ලබා දෙන සහයෝගය අගය කරන බවයි.

 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මේ අදහස් පළ කළේ ඊයේ (02) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම අමතමින්.

 

කොළඹ දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාව ගංවතුර තත්ත්වය පහව යන ප්‍රමාණය අනුව ක්‍රමයෙන් නැවත ස්ථිර වාසස්ථාන වෙත යොමු කරමින් තිබෙන බවත්, අවතැන් කඳවුරු110 ක පමණ මේ වන විට ජනතාව තාවකාලික නවා⁣තැන් ගෙන ඇති බවත් නිලධාරීන් මෙහිදී පැවසුවා.

 

කොළඹ දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව සඳහා දිනකට පිසූ ආහාර පැකට් එක්ලක්ෂ පනස් දහසක් පමණ ලබා දිය යුතුව ඇති බවත් රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන විසින් අදාල ආහාර ලබාදිම සිදු කරගෙන යන බවත් නිලධාරීන් එහිදී පැවසුවා.

 

නිලධාරීන්  මෙහිදී  පෙන්වා දුන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරවල කිසිදු ගැටළුවක් නැති බව සහ කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍ය පානීය ජල සැපයුම අඛණ්ඩව ලබා දිය හැකි බවයි.

 

ගංවතුර බැසගිය ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීම් සිදු කරමින් යළි පදිංචි කිරීම් සිදුකරගෙන යන බවද නිලධාරීන් පැවසුවා.

 

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,

 

” කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම ඊට වඩා අපදාවන්ට ලක් වූ ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර කොළඹ දිස්ත්‍රික් ආපදා කමිටුව ලෙස ඒ ප්‍රදේශ සඳහා ලබා දිය හැකි සහයෝගය ලබා දිය යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර සමග අවහිර වූ  මාර්ග යළි විවෘත කිරීම සහ හානි වූ මාර්ග හදුනාගෙන කඩිනමින් පිළිසකර කළ යුතුයි. ඒ වගේම ජනතාවට අවශ්‍ය පානීය ජලය කඩිනමින් ලබා දීමත් අවශ්‍යයි. විදුලි බිඳවැටීම් යථාතත්වයටපත් කරන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ආධාර ලබා දීමේදී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීයව නිවැරදිව සම්බන්ධිකරණය කරමින් ආපදාවට පත් සියළු දෙනාට ආධාර ලබා දීම සිදු කළ යුතුයි. නැවත සංවර්ධනය කළ යුතු යටිතල පහසුකම් පිළිබඳ නිසි පරිදි ඇගයීම් සිදු කර පෙර සිදු වූ වැරදි සිදු නොවන ලෙස සංවර්ධනය කරන්න වග බලා ගන්න. දෙසැම්බර් 16 වනදා අවම අපදාවක් සහිත සියලු ප්‍රදේශවල පාසල් ආරම්භ කරන්න තිබෙන හැකියාව පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා ගත යුතුයි. ආපදාවට පත් අනෙකුත් ප්‍රදේශ වල ප්‍රාදේශිය මට්ටමින් සලකා බලා පාසල් ආරම්භ කරන්න අවශ්‍යයි. ඒ සදහා පාසල්වල තත්ත්වය දරුවන්ගේ පාසල් උපකරණ සහ අනෙකුත් ඉගෙනුම් උපකරණ පිලිබඳ තක්සේරුවක් ලබා ගන්නත් අවශ්‍ය වෙනවා. ආපදා තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින්, ස්වේචඡා සංවිධාන වගේම ජනතාව ලබා දෙන සහයෝගය අගය කරනවා” යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

 

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් අපදාවට පත් ප්‍රදේශවල  නැවත නිවාසවල පදිංචි ව්ය හැකි පවුල් 100 කට අධික පිරිසකට නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රැපියල් 25,000ක මුල්‍යාධාර ලබා දීමද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වූණා.

 

මීට අමතරව දැනුම් දී ඇත්තේ නැවත සිය නිවාස වල පදිංචි විය හැකි ජනතාවට නිවාස පිරිසිදු කරගැනීම වෙනුවෙන් තම ප්‍රාදේශීය ලේකම්කාර්යාල මගින්  අදාල ආධාර මුදල් ලබා ගත හැකි බවයි.

 

Share This