ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කළ ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාර’ වැඩසටහන අද පස්වැනි දිනටත්

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කළ ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාර’ වැඩසටහන අද පස්වැනි දිනටත්

ආපදා හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාවට සරණක්වීම සඳහා ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ආරම්භ කළ ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාර’ වැඩසටහන අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

තවමත් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ බිම් මහල මුලුමනින්ම වෙන් කර තිබෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර භාරගැනීමට සහ ආහාර පිස විපතට පත්ව සිටින අපේම ජනතාව වෙත ගෙන ගොස් දීම සඳහායි.

නොසිතූ මොහොතක රටට බලපෑ ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව පීඩාවට පත්ව අවසන්.

ඒ අතරින් ඇතමෙකුට ඉතිරිව ඇත්තේ තම ඇදිවත පමණයි.

තවකෙකුට ඉතිරිව ජීවිත කාලය පුරා උපයා ගත් දේවල්වල මතකයන් පමණයි.

අසරණවූ මේ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වන්නට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ආරම්භ කළේ කවදත් ජනතාවාදී මාධ්‍ය මෙහෙවරක නියැලෙන්නන් ලෙසයි.

ඒ වැඩපිළිවෙළේ තවත් පියවරක් ඉදිරියට තබමින් අමුද්‍රව්‍ය වෙනුවට ආහාර පිසූ ආහාර පාර්සල් විපතට පත්වූවන් වෙත ගෙන ගොස් දීමට අප කටයුතු කළේ ඔවුන්ට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ එය බව පසක් වූ නිසයි.

දිවයිනේ නන්දෙසින් ජනතාවට ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහන සමඟ අත්වැල් බැදගැනීම නිසාම අද දිනයේත් මේ කර්තව්‍ය සිදු කිරීමට අප තිරණය කළා.

ඒ අනුව ඔරුගොඩවත්ත, ඔරියන්සිටිහි පිහිටි ස්වර්ණවාහිනී පරිශ්‍රයේ සිට විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් ආහාර පිසීමට හා යුහුසුලුව ඔවුන් වෙත රැගෙන යාමට පසුගිය දින කිහිපයේම මෙන්ම අදත් අප කටයුතු කරනවා.

ඊයේ රාත්‍රියේත් අවිස්සාවේල්ල, දංකොටුව ඇතුළු ප්‍රදේශය කිහිපයකම ගං වතුරෙන් පීඩාවවට පත් සරණක් අවැසි මිනිසුන් සොයා අප ගියා.

ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය සඳහා අදත් පරිත්‍යාගශීලීන් ද්‍රව්‍යමය ආධාර ගෙනවිත් භාර දුන්නේ සිය නොමසුරු දායකත්වය ලබා දෙමින්.

ද්‍රව්‍යමය පරිත්‍යාගයන්ට අමතරව අපේම සහොදර ජනතාවගේ කුසගිනි නිවාලන මේ මහඟු මෙහෙවරට දායකත්වය දැක්වීමට අදත් බොහෝ පිරිසක් ස්වර්ණවාහිනී ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙට පැමිණ සිටියා.

අපේම ජනතාවගේ හදගිනි නිවන ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ ප්‍රජා මුළුතැන් ගෙය සඳහා සහල්, පරිප්පු, මිරිස්, තුනපහ ඇතුළු කුළුබඩු මෙන්ම සෝයාමීට්, ලූණු, කරවල, බිත්තර, පිටිකල පොල්කිරි, පැකට් ආදිය රැගෙන අප වෙත පැමිණ ඔබට ද සහය විය හැකියි.

ඊට අමතරව වියළි ආහාර, පානීය ජල බෝතල්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග ගෙනැවිත් බාරදීම සඳහා අප දෙමටගොඩ කාර්යාලය මෙන්ම වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවද විවෘතයි.

හෙට්ටිවීදිය, බම්බලපිටිය, කිරිබත්ගොඩ, වත්තල, මීගමුව, නුගේගොඩ, මහරගම. කලුතර, ගාල්ල හා මාතර පිහිටි ස්වර්ණමහල් ශාඛා වෙත ද ඔබට පරිත්‍යාග ලබාදීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව ස්වර්ණ ශ්‍රී සහන සත්කාර වැඩසටහන තවත් පියවරක් තබමින් ඊයේ දින පැවැත්වූ ලේ දන්දීමේ කඳවුර සඳහා ද බොහෝ දෙනෙක් එක් වූයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තමාට සිදු කළ හැකි සියලුදේ කරන බවට පසක් කරමින්.

පැය 24 පුරා ක්‍රියාත්මක ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ට දායක වී අපේම සහෝදර ජනතාවට ශක්තියක් වන්නට අපත් සමඟ ඔබත් එක්වන්න.

මේ අසීරු මොහොතේ මනුසත්කම් බෙදා ගන්න හිතවත්කම රැගෙන ඔබත් එන්න.

 

Share This