බූස්ස බන්ධනාගාර ගැටුම ගැන විශේෂ විමර්ශනයක් (VIDEO)

බූස්ස බන්ධනාගාර ගැටුම ගැන විශේෂ විමර්ශනයක් (VIDEO)

බූස්ස බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ රැඳවියන් පිරිසක් එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති අතර, එහිදී ආරක්‍ෂිත කැමරා පද්ධතියට ද හානි කර තිබුණා.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් රඳවා තැබෙන බන්ධනාගාරයක් ලෙසයි බූස්ස බන්ධනාගාරය සැලකෙන්නේ.

දැඩි ආරක්‍ෂක රැකවැල් මැද ස්ථාපිත කර ඇති එම බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියම වූ අපරාධකරුවන්ද රඳවා සිටිනවා.

එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඊයේ පස්වරුවේ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පිරිසක් ආරක්‍ෂිත කැමරා පද්ධතියට හානි සිදුකර ඇති අතර, එහිදී බන්ධනාගාර අධිකාරීවරයෙකුට ද තුවාල සිදුව ඇති බව සඳහන්.

රැඳවියන් කිහිපදෙනෙකු සිරමැදිරි තුළින් වෙනත් ස්ථානවෙත මාරු කිරීම, නිසි ආකාරයට ආහාර පාන නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් රැඳවියන් සිය විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සැලවීමත් සමඟ බූස්ස හා අවට ප්‍රදේශවල පොලිස් බලඇණි කිහිපයක් මෙන්ම විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට පියවර ගෙන තිබුණා.

ඊට අමතරව රාත්‍රි කාලයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ද බූස්ස බන්ධනාගාරය වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාත්‍රිය වනවිට සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් බන්ධනාගාර මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

Share This