ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවෙන් කෙහෙලියගේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වේ – රේගු නිලධාරීන් ඇතුලු 6 කට හෙට සාක්ෂිදීමට එන ලෙස දන්වා අධිකරණයෙන් නොතීසි

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවෙන් කෙහෙලියගේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වේ – රේගු නිලධාරීන් ඇතුලු 6 කට හෙට සාක්ෂිදීමට එන ලෙස දන්වා අධිකරණයෙන් නොතීසි

ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා හෙට (09) පෙරවරු නවයයි තිහට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සහකාර රේගු අධිකාරී ගයාන් ඉන්දික, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මහේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු හය දෙනෙකුට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (08) සිතාසි නිකුත් කළා.

ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුව මෙලෙස සිතාසි නිකුත් කළේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

පැමිණිල්ලේ 292 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබෙන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ( ප්‍රතිපත්ති), ප්‍රභාත් ඉන්දික ප්‍රසන්න මහතා අද විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂි ලබා දුන් අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සාක්ෂි මෙහෙය වනු ලැබුවා.

එසේම නඩු විභාගයට සූදානම් වීමට විත්තියට ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම මගින් විත්තියේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි පවසමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂඨජනාධිපති නීතිඥවරුත් දෙදෙනකු එම නඩු කටයුත්තෙන් අද ඉවත් වුණා.

නඩුවේ දොළොස්වන විත්තිකරු ලෙස නම්කර තිබෙන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර හා දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් එලෙස නඩු කටයුත්තෙන් ඉවත් වුණා.

පසුගිය 26 වන දින එම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙරවරු 9.30 ට කැඳවා පස්වරු 4.45 පමණ වනතුරු පැවැති අතර එහිදී පැමිණිල්ල විසින් එම නඩු කටයුත්තට පාදක වූ ලේඛන රැසක් විත්තියට ලබාදී තිබුණා.

එම ලේඛන හා මින් පෙර ලබාදී තිබූ පිටු දහස් ගණනකින් යුත් සාක්ෂි සම්පින්ඩන පැමිණිල්ලේ සාක්කි ලේඛන පිටපත් ඇතුළු ලේඛන හා ඒවා සසඳා බලා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට හා නඩු විභාගයට සූදානම් වීමට සියලු ලේඛන ලැබී ඇත්දැයි අධිකරණයට ඉඩකඩ සලසමින් දින කීපයකින් පසුව කැඳවන ලෙස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අධිකරණය හමුවේ පවරා ඇති නඩු කටයුතු සාධාරණ අයුරින් ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ අධිකරණ විනිසුරුවන්ගේ මෙන්ම විත්තිය ඇතුළු සෙසු පාර්ශ්වයන්ද නියෝජනය කරන නීතිඥවරුන්ගේද එකඟතාවය මත දින නියම කිරීමෙන් බව පෙන්වා දෙමින්, විත්තියේ නීතිඥවරුන් පිරිසක් කරන ලද එම ඉල්ලීම නොතැකූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව කැඳවීමට දින නියම කළේ පසුගිය 27 වන දිනයි.

ඒ අනුව තමාට සිය සේවාදායකයා වෙනුවෙන් සාධාරණයත්වයක් ඉටු කිරීමට ඉඩකඩ අහිමිවී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා එලෙස නඩු කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබුණා.

Share This