සිංහරාජයේ ඉඩම් ගැන රාජකාරිය ඉටු නොකරන නිලධාරීන්ට වැඩ වරදී

සිංහරාජයේ ඉඩම් ගැන රාජකාරිය ඉටු නොකරන නිලධාරීන්ට වැඩ වරදී

සිංහරාජ වනාන්තරයට අයත් අක්කර 07ක ඉඩමක් හෙළි පෙහෙළී කර එහි හෝටලයක් සෑදීමේ උත්සාහයක් ඇතැයි සඳහන් කරමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධව පරිසර අමත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පුවත්පතකට පවසා තිබෙනවා

මෙම කාරණය සම්බන්ධව සොයා බැලීමේ දී මෙම ඉඩමේ අයිතිය පිළිබඳව නිරවද්‍යතාවය සොයා බැලීමට පූර්ණ විමර්ශණයක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා

එමෙන්ම මෙම ඉඩමේ වටිනා ගස් තිබුනි නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව තහවුරු වී තිබෙන බවත් එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව ඔවුන් ද තහවුරු කර තිබෙන බවයි පැවසෙන්නේ

මෙවැනි සිදුවීමක් වන තුරු තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හා ග්‍රාම නිලධාරියාත් වගකිව යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා

“මෙම ඉඩම අයිතිය ප්‍රකාශ කරන තැනැත්තන් සඳහන් කරන්නේ ඔවුන් විසින් මෙහි නිවාස ඉදි කරන බවයි. තමන්ට අයත් ඉඩමක නිවාස ඉදි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් අවශ්‍ය නොවේ. නමුත් පෙනී යන කරුණු අනුව සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා මෙම ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා වී තිබෙනවා . එසේනම් නිවාස ඉදි කිරීමට යැයි සඳහන් කරමින් නීතිය නොසළකා හැර අවසානයේ හෝටලයක් ඉදි කිරීම යනු නිලධාරින් හා වගකිව යුත් ආයතන නොමග යැවීමකි. එය බරපතළ වැරැද්දක් යනුවෙන් අමාත්‍යවරයා පවසනවා

කෙසේ වුවද මෙම ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ මෙම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමයි. ඊට මෙම අක්කර 07ක් ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. දැනට එම ඉඩම් තුළ පවුල් 135ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා

කෙසේ වුවද ලබන සතිය වනවිට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට ඒමට රජය කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කරනවා

මෙම ඉඩම සම්බන්ධව දැනට අයිතිය පළ කරන පුද්ගලයින් කිසියම් අනීතික ක්‍රියාවන් සිදු කර ඇත්නම් ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරන අතර ,එමෙන්ම මෙම ඉඩමට අයත් වටිනා ගස් කපා ඉවත් කිරීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බවත්, මොවුන් නිසි අවසරයකින් තොරව වටිනා ගස් කපා ඉවත් කර ඇත්නම් ඒ සඳහා ඊට එරෙහිව තමන් නඩු පැවරීමේ වගකීම බාර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This