අන්තවාදී මත පතුරුවන පුද්ගලයෙක් වැලිගමදී අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පතුරුවන පුද්ගලයන්ට මුදල් සපයමින් ඒ සඳහා ආධාර මුදල් එකතු කළ ජමාතේ ඉස්ලාම් මතවාදී ක්‍රියාකාරිකයකු රුපියල් ලක්ෂ 27ක්ද සමඟ වැලිගමදී අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය සමත් වී තිබෙනවා
මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරට සිටින අන්තවාදී මත දරන අයට මෙසේ මුදල් සැපයීම මත ඉකුත් මාර්තු 12 වැනිදා එරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා
හතළිස් දෙහැවිරිදි මොහු මාවනැල්ල කිරිගන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
අත්අඩංගුවට ගැනීමෙන් පසු මොහු භාරයේ තිබී ලැප්ටොප් පරිගණක තුනක්ද නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන අතර මොහු කුමන කරුණක් සඳහා වැලිගමට ගියේ දැයි යන්න දැන ගැනීමට ප්‍රශ්න කරමින් සිටිනවා
සැකකරුගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී ලත් තොරතුරුවලට හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරට අන්තවාදී මත හා ජමාතේ ඉස්ලාම් මතවාද දරන අයට මුදලින් ආධාර කිරීමටත් ඔවුන් වෙනුවෙන් මුදල් එක්කාසු කිරීමටත් කටයුතු කර ඇති බවට අනාවරණය වීම නිසා එරටින් පිටුවහල් කර ඇති බවටයි සඳහන් වන්නේ
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම හා ඒ සඳහා මෙලෙස මුදල් ගනුදෙනු සිදුකර ඇති බැවින් මොහු සතුව ඇති බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත් ඔහුට එම මුදල් ලැබුණු ආකාරය හා ඔහු විසින් එම මුදල් බැර කළ පුද්ගලයන් කවුරුන් දැයි සොයා ගැනීමටත් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය ඊයේ (22දා) පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙනවා
එමෙන්ම මොහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 27ක මුදල මොහුට ලැබුණු ආකාරය සෙවීමත් එම විමර්ශනයේ කොටසක් .
ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිපාදන යටතේ සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි
මේ අතර අරාබි රටවල සිට මෙරට අන්තවාදී මත දරන පුද්ගලයන් නඩත්තු කරන මෙවන් පුද්ගලයන් ගැන එරට බුද්ධි අංශද සීරුවෙන් සිටින බව වාර්තා වනවා
2019.04.21 දින සිදුවූ පාස්කු ප්‍රහාරයට ඍජුව හා අනියම් ආකාරයෙන් වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව පොලිසිය, ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදුකරන බවත් එම විමර්ශනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව තුළ අන්තවාදය පැතිරවීමට උත්සාහ දරන පුද්ගලයන් ගැන මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවත් පුවත්පතකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා