බැසිල් වෙනුවෙන් පුටුව දුන්නොත් ‘ලැබෙන දේ ගැන’ පළවූ වාර්තාව
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන බව අද (05) ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
එම පුවත්පත වාර්තා කර ඇත්තේ ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බවයි.
එහෙත් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවත් එහි සඳහන්.
ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදී බවයි පුවත්පත වාර්තා කර ඇත්තේ.
එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වූ බව එහි දැක්වෙනවා.
ඔහුට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බවද පුවත්පත් වාර්තාවේ සඳහන් වනවා.
එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු වූ බවයි වැඩිදුරටත් පුවත්පත වාර්තා කර ඇත්තේ.