ඔක්තෝම්බර් එක සිට “ගුවන් මගීන්ට බලපාන” සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය

ඔක්තෝම්බර් එක සිට “ගුවන් මගීන්ට බලපාන” සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය

ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර පූර්ණ එන්නත්කරණය නොවූ විදේශිකයින්ට , විදෙස් සංචාරකයින්ට ජෛව බුබුළක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබා දෙන බවත් එහිදී ද පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී පී.සී.ආර්. පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාව පවතිනවා

එහිදී 12 වන දිනයේදී නැවත වරක් කරන පී.සී.ආර්. පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා හෝටලයකදී දින 14 ක් නිරෝධායනය වී ඔවුනට සමාජගත වීමේ හැකියාවක් ලැබෙනවා

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛණයක් නිකුත් කිරීමට නියමිත අතර එය ඔක්තෝම්බර් 01 දා සිට බලාත්මක කෙරෙනවා

මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගීන් පැය 72 ට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු වියයුතු අතර , එම පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් ඔවුනට ගුවන්ගත වීමට අවස්ථාව හිමි වේ.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගීන් පමණක් ඉන් සති දෙකකට පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් නැවත මෙරටදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් සමාජගත කරනු ලබනවා

ව්‍යසන තත්ත්වයන් තුළ ජනතාවගේ රැකවරණය අන් සියල්ලටම වඩා වැදගත් බවත් කුමන බාධාවකටත් වඩා පුරවැසියාගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ඉන් එහා තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා

මෙනිසා යම් යම් නීති රීති හා කොන්දේසි ගණනාවක් මත සිට කටයුතු කෙරුණු බවද එහෙත් වත්මන් තත්ත්වයන් නැවත සමීක්ෂණයට ලක්කෙරෙමින් සෞඛ්‍ය ප්‍රධානීන් විසින් ගනු ලැබූ තීන්දු එක් කර තීරණ ගණනාවක් ගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙන අතර රට යම් යම් සීමාවන් තුළ සිට ක්‍රමානුකූලව විවෘත කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවද පෙන්වා දී තිබෙනවා

Share This