වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක් -අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයෙන් නිවේදනයක්

වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක් -අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයෙන් නිවේදනයක්

අද ( 21 ) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ දින 14ක් ඇතුළත ගැටලු විසඳීම සඳහා රජය ක්‍රියා නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියා මාර්ගයන්හි නියැළීමට තම සංගමය තීරණය කොට ඇති බවයි

2013 වසරේ සිට රජයට කිසිදු මුදලක් වියදම් නොකර විසඳිය හැකි ගැටලු විසඳාලීමට බලධාරීන් කල්මැරීම හේතුවෙන් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ ප්‍රශ්න එකිනෙක එකතු වෙමින් උක්ත සඳහන් ගැටලු මේ වන විට සංකීර්ණ තත්ත්වයට පත්ව ඇති බවද එහි සඳහන්ව තිබෙන බවයි.

අධ්‍යාපන අනධ්‍යයන සේවාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ යෝජනාවලිය 2016 වර්ෂයේ සිට කල් මැරීම

ජාතික අධ්‍යාපන අනධ්‍යයන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ගැනීම

ජාතික පාසල්වල වසර 3ක් සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන්ගේ දරුවන් අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් කර ගැනීමට හිමිව තිබූ වරප්‍රසාදය මෙම වසරේ අහිමි කරමින් සිදු කරන ලද කප්පාදුව ඉවත් කර ගැනීම

ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම කරනු ලබන ඉල්ලීම

2019 වසරේ ජාතික පාසල් සඳහා පුස්තකාල සේවක තනතුරට පත් කිරීමේදී අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීමට මෙතෙක් කටයුතු නොකිරීම

උතුරු මැද පළාත් අධ්‍යාපනයේ කාන්තා මුරකරු තනතුර පාසල් කාර්ය සහායක තනතුරට අන්තර්ග්‍රහණය කිරීමට මෙතෙක් කටයුතු නොකිරීම

උතුරු මැද පළාත් අධ්‍යාපන රසායනාගාර සහකාර බඳවා ගැනීමේ පටිපාටියෙහි සුදුසුකම් මත බඳවා ගත් රසායනාගාර සහකාර තනතුරුධාරීන් ස්ථීර කිරීමට කටයුතු නොකිරීම

අඩු සුදුසුකම්ලාභීන් සඳහා වූ බහුකාර්ය සංවර්ධන පත්වීම් පාසල් වෙත අනුයුක්ත කර ගැනීම වළක්වා ගැනීමට කටයුතු කිරීම.

කිසිදු මුදලක් වියදම් නොකොට විසඳාලීමට හැකි උක්ත ගැටලු විසදාලීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීම හමුවේ 2021-10-21 වැනි දින සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට කටයුතු සංවිධානය කර තිබුණත් මවුපිය සංවිධාන, වෙනත් සංවිධාන හා විවිධ අයගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව දරුවන් වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනයක් නොලබා නිවෙස්වලට කොටු වී දැඩි මානසික පීඩනයකින් කටයුතු කරන මොහොතක 2021-10-21 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවද එහි සඳහන් වන බවයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙන්නේ

දින 14ක් ඇතුළත උක්ත සඳහන් ගැටලු සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් පළමු පියවර වශයෙන් දීප ව්‍යාප්ත මට්ටමින්, පළාත් මට්ටමින් ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ආණ්ඩුකාර ලේකම් කාර්යාල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කිරීමට කටයුතු සංවිධානය කරන අතර එමඟින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත මට්ටමින් වෘත්තීය අරගල දැඩිව ක්‍රියාත්මක කිරීම සිදු කරන බවද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා

Share This