පාර්ලිමේන්තුවට වසර 40යි – අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් තවම නෑ

පාර්ලිමේන්තුවට වසර 40යි – අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් තවම නෑ

පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කොට වසර හතළිහකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ගිනි ආවරණය කිරීමේ සහ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සවි කොට නැති බව වාර්තා වනවා

දිනපතා පළවන පුවත්පතක පළව තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

මන්ත්‍රීවරුන් 225 දෙනකු සහ කාර්යය මණ්ඩලය 950ක් පමණ ගැවසෙන මෙරට උත්තරීතර ආයතනය වසර හතළිහක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ ගිනි ආවරණය කිරීමේ සහ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතියක් නැතිව බවයි පැවසෙන්නේ

දශක හතරක් පමණ පැවැති මෙම අඩුපාඩුව සපුරාලමින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගිනි ආවරණය කිරීමේ සහ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් සවි කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේදී ලබාදුන් අනුමැතිය මත ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ උපදේශකත්වය මත මෙම පද්ධතිය සවිකිරීමට නියමිතයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීම සඳහා 1979 වසරේ ජූලි 04 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කොට ඇත්තේ 1982 වසරේ අප්‍රේල් මස 29 වැනිදායි

Share This