2022 වසරේ ආණ්ඩුවට ඇති ‘අභියෝගය ගැන’ ඇමති දිනේෂ් කරුණු දක්වයි
සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරව, පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බවට පත්ව ඇතැයි ම.එ.පෙ. නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණේ සීතාවක බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළා.
රටේ අඩු අආදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීම පිළිබඳ සහතිකයක් ලබාදිය යුතු බව ම.එ.පෙ. මතය සහ අදහස බවත් එය රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවත් ඔහු අවධාරණය කර සිටියා.
එමෙන්ම අනෙක් ජන කොටස් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ, ආරම්භ වනු ඇතැයි මහජන එක්සත් පෙරමුණ බලාපොරොත්තු වන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට පක්ෂය කැපවී ඇති බවද අවධාරණය කර සිටියා.
ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන් ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි, ම.එ.පෙ. අපේක්ෂාව බවද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවා.
කෝවිඩ් අර්බුදය පැමිණි අවස්ථාවේ, කිසිදු විදේශ රටක් ප්‍රතික්ෂේප නොකර ජනාධිපතිතුමා, ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කිරීමේ අතීතය අමතක නොකර යළි සිහිපත් කරන බව ඔහු ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම මුදල් ඇමතිවරයා අය වැය තුළින් ඉදිරිපත් කළ දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සියලු ශක්තීන් යෙදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
පාසල් හමාර කළ රැකියා නොමැති තරුණ පිරිස ප්‍රායෝගික වෘත්තීය ක්ෂේත්‍ර වෙත යොමු කිරීමද 2022 ඇති අභියෝගයක් බව පැවසූ ඔහු, ඒ සඳහා පොතේගුරුවාදයෙන් බැහැරව, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගතයුතු බවද කියා සිටියා.
සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල උත්සව ශාලාවේදී පැවති, ම.එ.පෙ. සීතාවක බල මණ්ඩල සභාවාරයට ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම.යදාමිණි ගුණවර්ධන මහතාද සහභාගී වුණා.