ඉදිරි පැය 48 තීරණාත්මකයි – යුක්රේනය,රුසියාව සමග සාකච්ඡාවට සූදානම්

ඉදිරි පැය 48 තීරණාත්මකයි – යුක්රේනය,රුසියාව සමග සාකච්ඡාවට සූදානම්

යුක්රේනය පැය 48ක් ඇතුළත රුසියාව හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනය තම දේශසීමාවේ උත්සන්න වන ආතතීන් සම්බන්ධයෙන් රුසියාව සහ ප්‍රධාන යුරෝපීය ආරක්ෂක කණ්ඩායම්වල  අනෙකුත් සාමාජිකයින් සමඟ රැස්වීමක් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

යුක්රේනයේ දේශසීමාවේ සොල්දාදුවන් 100,000 ක් පමණ රැස්වී තිබියදීත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා

සමහර බටහිර රටවල් රුසියාව මිලිටරි ක්‍රියාමාර්ගයකට සූදානම් වන බවට අනතුරු අඟවා ඇති අතර, එමෙන්ම ඕනෑම අවස්ථාවක මොස්කව් ගුවන් බෝම්බ ප්‍රහාර වලින් ආරම්භ විය හැකි බව එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර වැඩි රටවල් ප්‍රමාණයක් යුක්රේනය හැර යන ලෙස තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති අතර සමහරක් තානාපති කාර්යාලවල කාර්යය මණ්ඩලය අගනුවරෙන් ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.

රුසියාව ඇතුළු යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ (OSCE) සාමාජිකයින් විසින් සම්මත කරන ලද ආරක්ෂක ගැටළු පිළිබඳ ගිවිසුමක් පිළිබඳ වියානා ලේඛනයේ නීති රීති යටතේ යුක්රේනය විසින්  රුසියාවෙන් ඔවුන්ගේ අභිප්‍රාය ගැන පිළිතුරු ඉල්ලා තිබෙන බවද වාර්තා වනවා.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ  ඉදිරි දිනවලදී රුසියාව ආක්‍රමණයක් සැලසුම් කරන බවට කිසිදු සාක්ෂියක් තමන් නොදුටු බවයි.

එමෙන්ම පසුගිය ඉරිදා යුක්රේන ජනාධිපතිවරයා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථනයෙන් පැයකට ආසන්න කාලයක් කතා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජනාධිපති බයිඩන්  යුක්රේනයට එක්සත් ජනපදයේ සහය පුනරුච්චාරණය කර ඇති බවත්, “රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ වැළැක්වීම දිගටම කරගෙන යාමේ වැදගත්කම” පිළිබඳව නායකයින් දෙදෙනාම එකඟ වූ බවත් ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

යුක්රේනයේ ඇමතුම පිළිබඳ  සඳහන් කර තිබෙන්නේ  එහි ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ “නොසැලෙන සහයෝගයට” ස්තූතිවන්ත වන බවත් අවසානයේ දී ජනාධිපති සෙලෙන්ස්කි එක්සත් ජනපද නායකයාට යුක්රේනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්ය.

නමුත්  ධවල මන්දිරය මෙම ආරාධනය පිළිබඳව කිසිදු අදහසක් පළ කර නොමැති බවද සඳහන්.

Share This